Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අගමැතිතුමනි, මුන්ට සක්කිලි කියා සක්කිලින්ට අපහාස නොකරන්න!!


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දීර්ඝ කාලීන නිහැඬියාව බිඳ දමමින් ඊයේ (22) ඇතුගල්පුරවරයේදී ජනමාධ්‍යවේදීන් වේශයෙන් පෙනී සිටිනා ජඩ මාධ්‍යවේදීන් පිරිසකට සිය ප්‍රථම ප්‍රහාරය එල්ල කර තිබේ. අගමැතිතුමාගේ එක් එක් ක්‍රියාකාරකම් පිළිබඳව අපට විවේචන තිබුණද මෙහිදී අප දෑතම ඔසවා ඔහුට සහයෝගය දක්වමු. මේ වන විට ශ්‍රී ලාංකික සමාජය පුරා අතු ඉතිලා වැඩී සිටින ජාතිවාදී වෘක්ෂය බිම හෙලීම සදහා පලමු පොරව පහර එල්ල කරමින් ගරු අගමැති තුමා පුරෝගාමී මෙහෙවරක් අරඹා ඇත. එය අපි රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකුගෙන් ඉතා දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වූ දෙයකි. 

කුල ක්‍රමය සහිත අතීත සමාජයක සක්කිලින් යනු පහත් යැයි සම්මත ජන කොට්ඨාශයකි. එකල ඔව්හු තම ජීවිකාව අනෙක් අයට හිරිහැරයක් නොවන පරිදි ඉටුකරගනිමින් තමන්ගේ පාඩුවේ තම ජීවිකාව කරගෙන අහිංසක ලෙස ජීවත් වූ පිරිසකි. එවන් අපේම වූ ජන කොට්ඨාශයක් මෙම වර්ගවාදී, ගෝත්‍රවාදී, ජාතිවාදී ජඩමාධ්‍යකරුවන්ට සමාන කිරීම තුලින් අගමැතිවරයා කර තිබෙන්නේ බරපතල වරදකි. මන්ද යත් කසල ශෝධකයන්ට මෙම ජඩ මාධ්‍යකරුවන්ට වඩා ආත්මාභිමානයක් ඇති බැවිනි. මෙහිදී අපට සිහිපත් වන්නේ ‘ඇත්තේ සිරා' හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයෙකුට 'ගොනා' කීම නිසා සිදුවූ අපහාසයට රුපියල් පනහක වන්දියක් නියම කරමින් දුන් නඩු තීන්දුවේදී හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා අසා සිටියේ ඇමතිවරයා ගොනාට සමාන කිරීම තුලින් ගොනාට සිදුවූ හිත්වේදනාවට වන්දි ගෙවන්නේ කවුද යන්නයි.

නව රජය බලයට පත්වීමෙන් පසු සතියක් දෙකක් පමන නිහඬව සිටි මෙම ජාතිවාදී නඩය නැවතත් හුඹස් බියවල් මවා පාමින් සිය කැත හිස එසවීමට පටන් ගෙන තිබේ. 1987 ඉන්දු - ලංකා ගිවිසුමේ සිට ඔවුන් දේශනා කලේ රට බෙදී යාමක් ගැනයි. පලාත් සභා පිහිටවුවහොත් රට දෙකඩවීම අනිවාර්ය බව ඔව්හු දේශනා කළහ. එසේ පවසා හැට දහසක තරුණයන් හට දේශප්‍රේමී ලණුවක් ගිල්වා ඔවුන් මරණය වෙත දක්කාගෙන ගියේ මෙම හුඹස් මාධ්‍ය කරුවන්ය. ජනතා විමුක්ති පෙරමුණ සිදුකලේ එයට අත්වැල සැපයීමයි. ඉන්දියාව අපගේ අසල්වැසියා වනතාක් ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි නොවන බව තේරුම් ගැනීමට මෙම හුඹස් මැට්ටන්ට නොහැක. එසේ විමට තිබූ ප්‍රථම අවස්ථාව එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීම තුලිනුත් දෙවනුව ජාත්‍යන්තර අතපෙවීමකට ඇති ඉඩකඩ මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත්කිරීම තුලිනුත් ඉන්දියාව ප්‍රයෝගික තලයේ ඔප්පු කොට හමාරය. අපගේ රට බෙදී ගියහොත් අපට වඩා ප්‍රශ්නවලට මුහුණ දීමට ඉන්දියාවට සිදුවන බව හොදින් දන්නා නිසා ඔව්හු ඉතා සූක්ෂමව ශ්‍රී ලංකා දේශපාලනය තුල තම ආධිපත්‍ය පතුරුවා හමාරය.

අනුර සොලමන් කතෘත්වය දරණ ඉරිදා දිවයින සංග්‍රහය ජාතිවාදය (Racism) සහ ජාතිකවාදය (Nationalism )පටලවාගෙන සිටී. සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ අයිතියකි. අප ඊට ගරු කරමු. දිවයින හැදූ එඩ්මන් රණසිංහ නියෝජනය කලේ සිංහල බෞද්ධ ජාතිකවාදයයි. අප හිසනමා ආචාර කරන අපේ කාලයේ පුවත්පත් කලාවේදියා දයාසේන ගුණසිංහ මෙම සිංහල බෞද්ධ ජාතිකවාදය සමතික්‍රමණය කළ පුද්ගලයෙකි. ඔහු කිසි කලෙක මෙම කුලකට අයත් නොවේ. අද දිවයිනට අවශ්‍ය වන්නේ දයාසේන ගුණසිංහ වැනි පිරිපුන් පුවත්පත් කලාවේදීන්ය. නමුත් අවාසනාවකට බිහිවී ඇත්තේ ගාමිණී සුමනසේකර, මෙරිල් පෙරේරා, නාරද නිශ්ශංක, ජයන්ත චන්ද්‍රසිරි, අනුර සොලමන් වැනි ජාතිකවාදය හා ජාතිවාදය පටලවා ගත් පිරිසකි. ඔවුන්ගේ මතවාදය ඉවසා දරාගත හැකි වුවත් කීර්ති වර්ණකුලසූරිය, සමන් ගමගේ, මනෝජ් අබේධීර වැන්නවුන්ගේ සාහසික පුවත්පත් කලාව කිසිසේත්ම ඉවසා දරා ගත නොහැක. ඊයේ දිවයින ඉරිදා සංග්‍රහයේ ‘වැලිකඩ සිරකරුවන් ඝාතනය' සාධාරණීකරණය කරමින් පලවූ සමන් ගමගේ ගේ නරුමාලාපය මීට කදිම නිදසුනකි.

රිවිර යනු මූලයෙන්ම වඳ බවට පත්වූ පුවත්පතකි. සිසිර පරණතන්ත්‍රී යනු දිවයින පුවත්පතේ සේවය කළ අවධියේ ඉතා අගනා පුවත්පත් කලාවේදියෙකි. දයාසේන ගුණසිංහ මහතා ගුරු කොට ගනිමින් අභීතව සහ රසාලිප්තව සිය පෑන මෙහෙයවූ සිසිර, මහින්ද රාජපක්ෂ හා වාසයට හා සංවාසයට යාමෙන් අභාවප්‍රාප්ත විය. දැන් ජීවත් වන්නේ ජාතිවාදී අවතාරයකි. සිසිර සිංහලෙන් කරන දේ මාලින්ද සෙනෙවිරත්න ඉංග්‍රීසියෙන්  ‘නේෂන්' පුවත්පතේ සිදු කරයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියූ ලෙස මාලින්ද වැස්සකටවත් 'හාවඩ් සරසවිය'ට ගොස් ඇත්දැයි සැක සහිතය.

ඉහත නම් සඳහන් කළ සියළුම පුවත්පත් කලාවේදීන්ට ස්වකීය ස්වාමියා වූ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේයාමට ශුද්ධ වූ අයිතියක් තිබේ. තමන්ව මාසයකට සැරයක් අරලියගහ මන්දිරයට කැඳවා ආප්ප කෑමට දුන්, දරුවන්ගේ පිටරට අධ්‍යාපනයට ඉස්කෝල කාසි ලබදුන් , බයිපාස් ඔපරේෂන් වලට මෙඩිකල් බිල් ගෙවූ තම ස්වාමියාට කළගුණ සැලකීම ඔවුන් අනිවාර්යෙන්ම කළ යුතුය. නමුත්  ඒ සඳහා ජාතික පුවත්පත් හරහා ජාතිවාදය ඇවිස්සිය යුතු නැත.

මෙහිදී එක් කරුණක් විශේෂයෙන්ම අවධාරණය කළ යුතුව ඇත. එනම් ඊයේ (22) අගමැතිවරයාගේ කතාවෙන් චූන්වන ඔහු වටේ සිටින මෝඩ වඳුරන් තම ස්වාමියා පිනවීම සඳහා ඉහත කී පුවත්පත් කලාවේදීන්ට හිංසා හිරිහැර පීඩා කිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති වෙමින් ඇති නිසා එවැනි තත්වයන් වහාම මැඩ පැවැත්විය යුතු වේ. ඔවුන් සියලු දෙනා ‘‘පරාජය කළ යුත්තේ මතවාදීව මිස'' පහර දී කකුල් කඩා රැවුල් කපා සුදු වෑන් දමා උස්සා නොවේ. ඔවුන් දිගින් දිගටම ජාතිවාදය පතුරුවන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ යුත්තේ නීත්‍යානුකූල මාර්ගවලින් මිස වෙනත් කිසිම ආකාරයකට නොවන බව අප අවසාන වශයෙන් වත්මන් ආණ්ඩුවට අවධාරණය කරමු.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP