කප්පමට කප් ගැසූ සරණ.


බියගම වෙළෙඳ කලාපයේ පාපිසි සඳහා කැපී ඉවත් වන රෙදි කැබැලි වල සිට රඹුටන් කාලයට ගම්පහ පුරා පාර දෙපැත්තේ වැටෙන රඹුටන් ලෑලි වලින් ද කප්පම් ගත්තෝ සරණලා ය. අනුන් ගේ ඉඩ කඩම්වලින් ද පරණ යකඩවලින් ද කප්පම් ගත්තෝ සරණලාය.කප්පම් නොදුන්න වුන්ට මරණ තර්ජන,සුදු වෑන් සරණ දුන්නෝ ද සරණලා ය. මහින්ද, ගෝඨාභය, බැසිල් රාජපක්ෂවරුන් ගේ ගජ මිතුරා ලෙස ද සරණලා කුප‍්‍රකට ය. සරණ නම් කප්පම් ය. කප්පම් නම් සරණ ය. කල්ක‍්‍රියාව දන්නෝ සහ මුලූ ගම්පහ ම එහෙම කට පුරා කීවේ සරණට ය. සරණ ගුප්ත ගුණවර්ධන හා බැඳුණු ගුප්ත නො වූ රන්වන් නාමය එය ය.

වරෙක ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස ද, රාජපක්ෂ රජයේ ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද දැරූ සරණ ගුණවර්ධන කළ කී දෑ අපමණ ය. ඒවා කීමට නොහැකි තරම් අප‍්‍රසන්න ය. ලොතරැ යි මණ්ඩලයේ සභාපති ව සිටිය දී සිදු වූ වංචාවක් සම්බන්ධ ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට විරුද්ධ ව නඩුවක් ද ගොනු කළේ ය. අත්තනගල්ලේ නිවසකට පැන දරුවකු පැහැර ගැනීමේ සිද්ධික් සම්බන්ධ ව නඩුවක් සරණට විරුද්ධ ව අධිකරණයේ තවමත් ඇසෙමින් ඇත.ඔහු ඉල්ලූ කප්පමක් නොගෙව්වාට අත්තනගල්ලේ ඉදිකිරීම් කර්මාන්ත ශාලාවකට ගෝල බාලයන් සමඟ පැන එහි දේපළ විනාශ කිරීමට එරෙහි ව ද තවත් නඩුවක් ඇත.

මිනුවන්ගොඩ හොරැන්පැල්ලේ ඉඩමක් ගත් පුද්ගලයකු ගෙන් කෝටි දෙකක කප්පම් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළේ ද මේ සරණ ය. ඒ මීට දෙවසරකට පෙර ය. එකී තර්ජනය පිළිබඳ ව මිනුවන්ගොඩ පොලීසිය කළ පරික්ෂණයට අනුව එම දුරකථන අංකය ඛනිජ තෙල් සංස්ථාවට නිකුත් කළ එකක් විය.එය භාවිත කළේ සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා බව එකළ මාධ්‍යයට කීවේ එවකට සිටි අමාත්‍යාංශ ලේකම් ය. සියල්ල තහවුරු වුව ද රටේ ඉහළ ම තැන ඊට මැදිහත් වී සමථයකට පත් කළ බව කීවේ අප නො ව එකල රාජපක්ෂ රජයේ සිටි පළාත් පාලන ප්‍රධාන අමාත්‍යවරයෙකි.

සරණ වරෙක පාර්ලිමේන්තුවට තුවක්කුවක් ගෙන ගියේ ය. 2011 වසරේ පාර්ලිමේන්තුවේ අවසන් අය වැය විවාදය තුළ දී වතුර බෝතලයකින් දමා ගැසුවේ එවක සිටි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට ය. එය ඔහුට නොවැදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ළඟට වැටුණේ ය.සුවච කීකරු සරණට සතියක් පාර්ලිමේන්තුව තහනම් වුණා මිස ඉන් මතු කිසිවක් නො වී ය.තව කොතෙකුත් කප්පම් ගැනිම්,මරණ තර්ජන චෝදනාවලට උසාවි ගෙන්නුව ද සියලූ පරීක්ෂණ පසුගිය ජනාධිපතිවරණය දක්වා ම යට ගැසෙන්නට රාජපක්ෂ බල පරාක‍්‍රමයේ සරණ, සරණට ලැබුණේ ය.

සරණ හිතවත් පාලනය වෙනස් වූ පසු මෙතෙක් සරණට තිබූ නීතියේ සරණ අහිමි විය. ඉකුත් අගෝස්තු 14 වනදා ගම්පහ නගරයේ දී පුද්ගලයකුට පහර දීමට සැක පිට සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගන්නේ ය.ඒ ඉකුත් 22 වැනිදා ය. ගම්පහ මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ව සරණ ගුණවර්ධන හිටපු මන්ත‍්‍රීවරයා 26 වැනිදා දක්වා රිමාන්ඞ් කළේ ය. 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වැනිදා දක්වා නැවත සරණ බන්ධනාගාරගත කොට ඇත. ඔහු මේ වසර තුළ බන්ධානාග ාරගත කළ දෙවන අවස්ථාව මෙය ය. ඉකුත් මාර්තු 12 වැනිදා සරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේ ලක්ෂ 96ක යකඩ ගනුදෙනු වංචාවකට ය.

එය ද රාජපක්ෂ සමයේ යට ගැසුණ පරණ කතාවකි.

සාහුල් හමීඞ් රස්මි හලාවත ප‍්‍රදේශයේ මහා පරිමාණ යකඩ ව්‍යාපාරිකයෙකි. ක්‍ෂඊ 2 - 147/61 අංකය යටතේ 2012 වසරේ අගෝස්තු 22 වැනිදා සරණ ගුණවර්ධනට එරෙහි ව අදාළ ව්‍යාපාරිකයා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ යකඩ ගනුදෙනු වංචාවක් සම්බන්ධව ය. අත්තනගල්ලේ පිහිටි කඩා ඉවත් කළ යුතු ආයෝජන මණ්ඩලයට අයත් ගොඩනැඟිල්ලේ යකඩ සඳහා අදාළ ව්‍යාපාරිකයා දෙකෝටි විසිපන්ලක්ෂයක් ගෙවීමට එකඟ වී ඇත. මේ ගනුදෙනුව කතා කරන්න එන්නේ බැසිල් රාජපක්ෂ සම්බන්ධීකරණ ලේකම් ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු සහ සරණ ගුණවර්ධන ගේ ගෝලයෙකි. පළමු ව මුළු මුදලෙන් ලක්ෂ පණහක් ද පසු ව ඉතිරිය යකඩ විකිධෑමෙන් පසු ව පියවීමට ද එකඟ වී පළමු ව මුදලින් ලක්ෂ 18ක් ද චෙක්පතකින් ලක්ෂ 32ක් ද දෙන්නේ සරණ ගුණවර්ධන නිවසේ දී ඔහු අතට ය. අදාළ ගිවිසුම බැසිල් අමාත්‍යවරයා දැනුවත්ව සිදු වූ බව වාචික ව කියූ සරණ, අදාළ ව්‍යාපාරිකයා ගේ මුදල් ලබා ගත්ත ද ගිවිසුමට අත්සන් කරන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ නිලධාරියා බව කියූ පුද්ගලයෙකි.

ඉන්පසු වරින්වර මෙකි ගෝල බාලයන් විවිධ හේතු කියමින් ලක්ෂ 96 ක මුදලක් ලබාගෙන මේ යකඩ තොගය ලබා දීම මගහැර ඇත.ව්‍යාපාරිකයා සරණ ගුණවර්ධන හමු වීමට ගිය විට සරණ කරන්නේ තවත් මුදල් ඉල්ලීම ය. පසුව බැසිල් රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ නිලධාරියා බව කියාගත් පුද්ගලයා ගෙන් නියමිත ව්‍යාපාරිකයාට දිගින් දිගට ම දුරකථන ඇමතුම් එන්නේ මරණ තර්ජන සමඟ ය. සරණ හොඳ එකෙකු නොවන බවත්, වෙඩි තබා මරා දමනු ඇති බවත් කියා ය. මෙකී හඬපට අන්තර්ජාලය පිරික්සන ඕනෑ ම අයෙකුට සොයාගත හැකි ය. මේවා එකල මාධ්‍ය එකක දෙකක ඇති පදම් පළ වුණේය.

මේ සියල්ල පටිගත කරගත් ව්‍යාපාරිකයා ඒවා පොලීසියට බාර දෙන්නේ 2013 වසරේ අපේ‍්‍රල් මස 20 වැනිදා ය. රාජපක්ෂවරුන් ගේ නම ගෑවුණ සරණලා ගේ තක්කඩිකම් පිළිබඳ ව පොලීසිය පසුගිය ජනේරුව දක්වා ම නොසෙව්වේ ය. ඉකුත් මාර්තු 12 වැනිදා සරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ මෙකී වංචාව පිළිබඳ ව විමසන්නට ය. සරණලා වැනි පොඩි පොඩි සාවාලයන් හැඬැල්ලන් සිරවන,බැසිල්ලා වැනි ලොකු තෝරු මෝරු පැන යාන්ත‍්‍රණ වෙනුවට යහපාලනය ඇති පදම් කිව් නීතිය ක‍්‍රියාත්මක කිරීම වහා ම කළ යුතු ය. සරණ පමණක් නො ව නම කියැ වෙන බැසිල්ලා ගෙන් ද ප‍්‍රශ්න කළ යුතු ය.

මෙවර සරණ වෙනුවට සරණ ගේ බිරිඳට නාම යෝජනා දෙන්න තරම් මෛත‍්‍රීපාල ජනපතිවරයා ප‍්‍රමුඛ සන්ධානය කටයුතු කළේ ය. ඒ නංගි පෙන්වා අක්කා පාර්ලිමේන්තුවට ගැනීමට බව ඕනෑ ම බයියෙකුට පැහැදිලි ය. සරණ අද පාර්ලිමේන්තුවේ වෙනුවට තාවකාලික ව සිර අඩස්සියේ ය. එය තවත් කී දවසකට ද, ජනේරුවට පෙර සේ ම ටික දවසකට පමණක් ද යන්න ඉදිරියේ දී බලාගත හැකි වනු ඇත.

රාජපක්ෂලා විසින් මෙරට දේශපාලන සංස්කෘතියට ඉතිරි කළ සරණ ගුණවර්ධනලා තවත් කොතෙකුත් මෙවර පාර්ලිමේන්තුවට රිංගා ඇත. එලෙස රිංගීමට යහපාලනය ද මෛත‍්‍රී ජනාධිපතිවරයා ද නිහඬ ව උල් පන්දම් ද දී ඇත. ජනතාවගේ සීමාව ඉක්මවීම පෙර වසර දහයට වඩා ඉක්මන් වනු ඇත. දැනට ද පමා වූ සොරු ඇල්ලීම්, කප්පම්කරුවන්ට නිසි දඬුවම් දීම් වට වංගුවලින් තොර ව ඉටු කළ යුතුය. සරණ ලා, චොකා මල්ලිලා, හොරුන් ඇතුලූ ටොම් පච රස්තියාදුකාරයන් පාර්ලිමේන්තු යැවීම ද මහජනතාව මේ ජන්දයෙන්ම අවසන් කළ යුතු ය. සියල්ලට ම පාලකයන්ට දොස් පවරනවා වෙනුවට සුදුස්සන් සුදුසු තැන්වලට පත් කිරීම මහජන වගකීම ය.


- කසුන් පුස්සෙවෙල -
ඉරුදින (30/08/2015)


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment