ප්‍රාථමික කර්මාන්ත ඇමතිට අගමැති දුන් අවවාදය.


තමාට ලබා දී  ඇති අමාත්‍යංශය සම්බන්ධයෙන් වික්ෂිප්තභාවයට පත්වී සිටින ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමාගේ අමාත්‍යංශයට අයත් විෂය පථය පිළිබඳව විමසා තිබේ. දයා ගමගේ මහතාට පිලිතුරු දී ඇති අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශයේ විෂය පථය නිර්මාණය කර ගත යුත්තේ දයා ගමගේ මහතාම විසින් බව පවසා ඇත. දක්ෂ ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේ මහතා නියැලිය යුතු ව්‍යාපාරය ඔහු විසින් තීරණය කළ ආකාරයටම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයට අයත් විය යුතු විෂය පථයද නිර්මාණාත්මක ආකාරයට ඔහු විසින් සිදුකළ යුතු බව පෙන්වා දී ඇත.

අගමැතිවරයා දයා ගමගේ මහතාට උදාහරණ දක්වමින් 1970-1977 සමගි ආණ්ඩු පෙරමුණු සමයේ කර්මාන්ත අමාත්‍ය ටී.බී. සුභසිංහ මහතා කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඉතාම නිර්මාණාත්මක ආකාරයට විවිධ කර්මාන්තයන් ඇතිකරමින් ඒවායේ සභාපතිවරු පත්කරමින් සිදුකළ කාර්ය භාරය මතක් කර දී තිබේ. සුභසිංහ මහතා විසින් ආරම්භ කරන ලද කජු සංස්ථාව, සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය, හණ සංස්ථාව, ලුණු සංස්ථාව වැනි මෙකී නොකී සංස්ථාපිත ආයතනයන් ඇතිකරමින් ඒවාට සුදුසු සභාපතිවරු පත්කරමින් ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ක්ෂේත්‍ර යේ ඇති කළ නවෝදය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අගමැතිවරයා අමාත්‍යවරයාට කර තිබේ.

එමෙන්ම 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තමාට තරුණ කටයුතු අමාත්‍යංශය නමින් අලුත් අමාත්‍යංශයක් භාර දුන්නා මිස එහි විෂය පථය තමා හදුන්වා නොදුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. නමුත් තමා ඉතාම නිර්මාණාත්මක ආකාරයට ජාතික තරුණ සේවා අධිකාරිය යටතේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවමින් සිදුකළ පෙරලිය පිළිබඳව වික්‍රමසිංහ මහතා ප්‍රාථමික අමාත්‍යවරයාට මතක් කර දී තිබේ. තරුණ තරුණියන්ගේ විවිධ හැකියාවන් ඔප මට්ටම් කිරීම සඳහා කැපවුණු මහනුවර බෙල්වුඩ් තරුණ ගම්මානය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර ඇත.

තවදුරටත් කරුණු දක්වා ඇති අගමැතිවරයා ‘පොල් ගහක් ගත්තොත් ඒක අයිති වෙන්නෙ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට. නමුත් පොල්ගහේ කොටස්වලින් කෙරෙන කර්මාන්ත සම්බන්ධයෙන් නිර්මාණාත්මකව හිතල බලල සංස්ථාවන් පිහිටුවන්න. අපේ රටේ පොල් ලෙලි ටික පිටරට ඇරියොත් අවුරුද්දකට රුපියල් බිලියන 5 ක් හොයන්න පුළුවන්. පොල් ගහ කියන්නෙ විශ්වකර්ම ගහක්. ඇත්තටම කප් රුකක්. බටහිර රටවල්වලින් පුදුම ඉල්ලුමක් කොයර් ප්‍රොඩක්ට්ස් වලට තියෙන්නෙ. අලුතින් හිතන්න ඔබතුමා නිර්මාණාත්මක පුද්ගලයෙක් නම් හොඳම අමාත්‍යංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය බවට පත් කරන්න පුළුවන්' යනුවෙන් ගමගේ මහතාට අවධාරණය කර තිබේ.

දයා ගමගේ මහතාගේ ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් නොමැති වීමයි. ඒ සඳහා පිලිතුරු සපයා ඇති අගමැතිවරයා ‘මේ සතියක දෙකක කාලය අනෝමගෙ (දයා ගමගේ මහතාගේ බිරිඳ) ඔෆීස් එක ෂෙයා කර ගන්ඩ. ඊට පස්සෙ අරලියගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ මහත්තය පහුගිය චොගම් එකට හදපු අලුත් බිල්ඩින් එකේ ඔයාටයි මලික්ටයි මම අමාත්‍යංශය ඇරේන්ජ් කරල දෙන්නම්' යනුවෙන් සහතික වී ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment