දෙව්ලොවින් අපායෙන් ගසා කෑ අභයාරාමයේ උන්නාන්සේ.


‘භාග්‍යවතුන් වහන්ස මෙතරම් කලක් අපි දුටුවේ දිවියන් විසින් එළුවන් අල්ලාගෙන කන ආකාරයයි. ඒ වුණාට මම අවසාන සිහිනෙන් දැක්කේ එළුවන් විසින් දිවියන් අල්ලාගෙන කන ආකාරයයි’’ ස්වාමීනි මේ සිහිනයේ ප‍්‍රතිඵල කුමක්ද?

මහා සුපින ජාතක කතාවට අනුව බුදුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියේ පසේනදී කොසොල් රජතුමාය. කොසොල් රජතුමා දුටු සිහින දහසයක ඵලාපල පිළිබඳ බුදුන් වහන්සේ පැහැදිලි කර දීමේ සාහිත්‍ය කතා සමුදායක් එම ජාතක කතාවට ඇතුළත්ය. ඉන් කොසොල් රජු දුටු දහසය වන සිහිනය පිළිබඳව නැගූ ඉහත පැනයට බුදුන් වහන්සේ පිළිවදන් දුන්නේ මෙසේය.

‘‘රජතුමනි, දාමරිකයන්ට, පහත් ගති ඇති අයට රජයෙන් වරප‍්‍රසාද ලැබෙන නිසා ඔවුන් පාරම්පරික ඉඩම් කඩම් කොල්ල කනවා. ඉඩම් හිමිකරුවන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මැරවරයන්ගේ තාඩන පීඩන විඳීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට සිදු වෙනවා.

ජීවිත අන්තරායන් නිසා ඔවුහු ‘‘නුඹලාම ගනිල්ලා’’ යැයි ඒ මැරයන්ටම ඉඩකඩම් පවරා දී ඒ පිළිබඳව ආසාව අතහරිනවා. සිල්වත් භික්ෂුන් වහන්සේලා ද එසේම අධාර්මික දුස්සීලයනට බලයත් ඉහළ තනතුරුත් දැරීමට ඉඩ දී නිහඬ වෙනවා.’’

බුදුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම යටගිය දවස කොසොල් මහරජුටය. මේ නිධාන කතාව ලියන්නට සිදු වූයේ වර්තමාන කතාව පැහැදිලිව තේරුම් ගනු පිණිසය. යටගිය දවස හත්වන මිහිඳු රජු නම් විධායක රජකු සිංහාසනාරූඪව සිටියේය. මෙකල්හි අවනීතිය නීතිය ලෙසින් ද අසාධාරණය සාධාරණය ලෙසින් ද අයුක්තිය යුක්තිය ලෙසින් ද රජුට යටත් වන්දි භට්ටයන් විසින් මූර්තිමත් කරන ලද්දේය. රාජ තේජසින් සිවුරු පඬු පොවාගත් දාමරික භික්ෂුහු ද ශාසන සම්ප‍්‍රදායට පයින් ගසා රජුගේ දේශපාලන සම්ප‍්‍රදායම අනුගමනය කළෝය. පූජා භූමි නීලකාස හොරුන්ගේ ලැගුම්හල් බවට පත් විය. සිල්වත් භික්ෂුහු ශාසනය රැක ගැනීමේ චේතනා සහිතව පසුබැස ගියෝය. දාමරික චීවරධාරීහු දේශපාලන සිවුරු පොරවාගෙන විහාරාරාම පවා අත්පත් කර ගත්තෝය. නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාමය නීලකාස හොරුන්ගේ තිප්පොළක් බවට පත් වූයේ ද එසේය.

සංඝයා වහන්සේ සතු දේපළ සංඝ පරම්පරාවට ලැබෙන පිළිවෙතක් ශාසනයේ පවතී. එය ශාසන සම්ප‍්‍රදායයි. ශාසන සම්ප‍්‍රදාය අනුල්ලංඝනය හෙවත් උල්ලංඝනය කිරීමේ අයිතියක් නැති එකකි. දේශපාලන බලපුළුවන්කාරකම් මත හෝ ඇඟේපතේ හයියට පුරාණයේ සිට පැවත ආ ශාසන සම්ප‍්‍රදාය විකෘති කරන්නට කිරුළු දරනා මහරජුන්ටවත් නොහැකිය.

ශාසන සම්ප‍්‍රදාය අනුව විහාරාධිපති හිමිනමක් අපවත් වූ පසුව ඊළඟ විහාරාධිපති ලෙස නම් කෙරෙන්නේ අපවත් වූ හිමිනමගේ ජ්‍යේෂ්ඨතම උපසම්පදා භික්ෂුන් වහන්සේය. නැතිනම් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ යෝජනා හෝ සංඝ සභාවක විහාරාධිපති පදවි සම්මත කිරීමකින් නම් කරනු ලබන ක‍්‍රමවේදය මඟිනි. ශාසනය තුළ අවුල් වියවුල් නැති කිරීම, බෙදීම් හට ගැනීම වැළැක්වීම හා ආගමික පසුබිමට හානි වීම වැළැක්වීම එකී සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීමට ප‍්‍රධාන හේතුව වී ඇත.

මේ පිළිගත් සම්ප‍්‍රදාය නාරාහේන්පිට අභයාරාමයට ද වලංගුය. ශාසන සම්ප‍්‍රදායේ පිළිගත් නීති රීතින්ට පිටු පෑ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ ශුද්ධ වූ සම්ප‍්‍රදායට පයින් ගැසුවේය. දේශපාලන බලපුළුවන්කාරකම මත ඉකුත් වසර දහය පුරාම ඊට එරෙහිව කිසිවකු හඬනැගුවේ නැත. ඒ පිළිබඳ දැන සිටියේ ද නැත.

නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන්නේ රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති මංගල ධර්ම කීර්ති ශ‍්‍රී පඤ්ඤාලෝක පත්බේරියේ විමලඥානාභිධාන මාහිමිපාණන්වහන්සේය. අභයාරාමය හැරුණුකොට කිරුළපන ශ‍්‍රී පූර්වාරාමය, බොරලැස්ගමුවේ ශ‍්‍රී වාපිකාරාමය, පොල්ගස් ඕවිට රිලාවල ශ‍්‍රී සුසීමාරාමය හා ඇහැළියගොඩ කිරිපෝරුව ශ‍්‍රී නාගරුක්ඛාරාමය යන සතර විහාරාරාමවල ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන්නේ පත්බේරියේ විමලඥාන නාහිමියෝය.

විමලඥාන හිමියන්ගේ ගුරුවර ස්වාමිපාදයාණන් වහන්සේලා දෙනම වූයේ රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමියන් සහ පූජ්‍ය තලාවිටියේ පේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. 1994 ජනවාරි මස 20 වන දින රද්දැල්ලේ ශ‍්‍රී පඤ්ඤාලෝක හිමියෝ අපවත් වූහ. ඉන්පසුව අභයාරාමය ඇතුළු පංච විහාරයන්හි විහාරාධිපති ධුරය දරනු ලැබුවේ තලාවිටියේ පේමාලෝක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ද 1997 සැප්තැම්බර් මස 27 වන දින අපවත් වූහ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන 1998 පෙබරවාරි 21 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රිධර්ම මහා සංඝ සභාව විසින් නාරාහේන්පිට අභයාරාමය, කිරුළපන පූර්වාරාමය, පොල්ගස් ඕවිට රිලාවල සුසීමාරාමය, බොරලැස්ගමුවේ වාපිකාරාමය සහ ඇහැළියගොඩ කිරිපෝරුව නාගරුක්ඛාරාමය යන විහාරස්ථානයන්හි ආධිපත්‍යය ‘සංඝ සභාවේ ඒකමතික අනුමැතිය සහිතව’ පත්බේරියේ විමලඥාන හිමියන්ට පවරා දුන්නේය. සංඝ සභාවේ ඒකමතික අනුමැතියට අනුව එකී සම්මත කිරීමේ ලිපියට අත්සන් තබා ඇත්තේ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේය. 2006 වසරේ කූට උපක‍්‍රම යොදා ගනිමින් දේශපාලන බලය පෙන්වා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිිමියන් මේ ශාසනික සම්ප‍්‍රදාය උල්ලංඝනය කළේය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් හරහා ශාසන සම්ප‍්‍රදායට දේශපාලන සම්ප‍්‍රදාය ආදේශ කළේය.

පත්බේරියේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාමයේ විහාරාධිපතිව වැඩ වසන සමයෙහි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පිරිවෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් අභයාරාමයට වැඩියේය. පත්බේරියේ ධම්මාලෝක හිමියන්ගේ අනුකම්පාව මත මේ තරුණ භික්ෂුවට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා නේවාසිකව අභයාරාමයේ රැඳී සිටින්නට අවසර ලැබුණේය. මේ භික්ෂුව 1950 දශකයේ පත්බේරිය බෝධියංගණය
විශුද්ධාරාමයේදී මුල් වරට පැවිදි බිමට ඇතුළු වූයේය. ශ‍්‍රී ලංකා අමරපුර ස්වේජින් නිකායට අයත් පන්සලේ මහණ වූ මේ කුඩා සාමණේර නම එවකට හඳුන්වනු ලැබුවේ මුරුත්තෙට්ටුවේ සිරිසුමන නමින්ය. කෙටි කලකින්ම පැවිදි ශිෂ්‍ය භාවයෙන් ඉවත් වූ සාමණේර නම කිරිපෝරුව නාගරුක්ඛාරාමයේ දී මුරුත්තෙට්ටුවේ ධම්මකිත්ති නමින් යළිත් වරක් ශාසනයට ඇතුළත් වුණේය. එහි දී ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මේ හිමිනම අභයාරාමයේ වැඩ විසූ පත්බේරියේ ධම්මාලෝක හිමියන් සොයා කොළඹට පැමිණියේය. එසේ පැමිණ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූයේ ද මුරුත්තෙට්ටුවේ ධම්මකිත්ති නමිනි. වයස අවුරුදු විස්ස සම්පූර්ණ වීමත් සමඟ උපසම්පදාව ලබා ගැනීමට අවශ්‍ය වූයේය.

එවර ද ශිෂ්‍යභාවය අලූත් කරගැනීමට මුරුත්තෙට්ටුවේ ධම්මකිත්ති හිමියන්ට සිදු විය. 1958.06.19 වන දින පොල්ගස් ඕවිට විහාරයේ දී මාගම්මන ශෛල පර්වතාරාමාධිපති පූජ්‍ය මාගම්මන සද්ධානන්ද හිමියන් සහ රාජගිරිය කළපලූවාවේ ශ‍්‍රී සුදර්ශනාරාමයේ වැඩ සිටි පූජ්‍ය ඉඹුල්පිටියේ ඥානානන්ද හිමියන් ඉදිරියේ ශාසනයේ ශිෂ්‍යභාවය සිවුවැනි වරටත් අලූත් කරගත් මේ භික්ෂුව මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් විය. 1958.07.22 කෝට්ටේ උපෝසථාගාරයේ දී උපසම්පදාව ලද මේ භික්ෂුවට නේවාසික විහාරස්ථානය ලෙස නාරාහේන්පිට අභයාරාමයේ වැඩ වසන්නට භාග්‍යය ලැබුණේය. 1959 ජූලි 21 වන දින පත්බේරියේ ධම්මාලෝක හිමියන්ගේ අපවත් වීමෙන් පසුව රද්දැල්ලේ පඤ්ඤාලෝක හිමි විහාරාධිපති ධුරයට හිමිකම් කීවේය. උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ අතර විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ද වූහ. ධම්මාලෝක හිමියන් අපවත් වූ පසුව ද මුරුත්තෙට්ටුවේ හිමියන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා නාරාහේන්පිට අභයාරාමයේ නේවාසිකව සිටින්නට අවසර ලැබුණේය.

කාලය ගෙවී ගියේය. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රද්දැල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ අවසරය පිට අභයාරාමයේ දායක සභාවේ ආධාර උපකාර ඇතිව අභිනව දාන ශාලාවක් සහ වැසිකිළි පෙළක් ඉදි කළේය. රද්දැල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විරෝධතාව නොතකා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හෙද සංගමයේ කටයුතු ආරම්භ කළේය. බෞද්ධ භික්ෂුවක් හෙද සංගමයේ කටයුතුවලට ඇඟිලි ගැසීම නුසුදුසු බව පෙන්වා දෙමින් දායක සභාව පවා අභයාරාමය මඟහැර සිටියේය. අවසානයේ අභයාරාමය දේශපාලන ගුබ්බෑයමක් බවට පත් කර ගත්තේය. 1994 ජනවාරි 20 වන දින රද්දැල්ලේ ශ‍්‍රී පඤ්ඤාලෝක නාහිමියන් ද අපවත් වූහ. ඉන් පසුව ශාසන සම්ප‍්‍රදාය අනුවත් රටේ පවතින සාමාන්‍ය නීතියට අනුවත් අභයාරාමයේ විහාරාධිපති ධුරය හිමි වන්නේ පත්බේරියේ විමලඥාන හිමියන්ටය. උන් වහන්සේගේ අනුදැනුම මත තවදුරටත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාමයේ වැඩ වාසස්ථානය කරන්නට අවසර තිබුණේය.

2006 වසරේ එක්තරා දිනයක කිරුළපන පූර්වාරාම විහාරස්ථානයට පැමිණි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, පත්බේරියේ විමලඥාන හිමිගෙන් නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාමයේ ඔප්පුව සහ ඉඩම් සැලසුම් ඉල්ලා සිටියේය. භික්ෂූන් කෙරෙහි ඇති විශ්වාසවන්ත භාවයත් ප‍්‍රතිපත්තිගරුක භාවයත්, ශීලවන්ත භාවයත් උතුම් කොට සලකා පත්බේරියේ විමලඥාන හිමියෝ අභයාරාමයේ ඔප්පුවත් ප්ලෑනත් මුරුත්තෙට්ටුවේ හිමියන්ට පිළිගැන්වූහ.

එය රැගෙන ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ විහාරස්ථානයටම යාබද තිඹිරිගස්යාය මාර්ගය පළල් කිරීමේ දී විහාරස්ථානයට ලැබෙන වන්දි මුදල ඩැහැ ගැනීමට සැලසුම් සකස් කළේය. ඒ සඳහා තමන් විහාරාධිපති ලෙස පෙනී හිඳිමින් ඊට අවශ්‍ය රබර් මුද්‍රා තනවා ගත්තේය. අභයාරාමයේ විහාරාධිපති හිමියන් වන පත්බේරියේ විමලඥාන හිමියන් මේ කිසිවක් දැන සිටියේ නැත. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත්, රත්නායක ඇතුළු පිරිස සහ මාර්ග සංවර්ධන අධිකාරිය, මහා භාරකාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නොමඟ යවා මුරුත්තෙට්ටුවේ ආනන්ද එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය ද යොදා ගනිමින් තිඹිරිගස්යාය මාර්ගය පුළුල් කිරීමේ දී ලැබෙන වන්දි මුදල සඳහා චෙක්පත් ලියා ගත්තේය. මාර්ග සංවර්ධන අධිකාරියෙන් එලෙස ලබාගත් මුදල රුපියල් තුන්කෝටි තිස්තුන්ලක්ෂ හැටදහසකි. මෙම මුදලින් එක්කෝටි පනස් දහසක් පළමු වාරිකය ලෙස ලබාගෙන තිබුණේය. විහාරාධිපති හිමියෝ මේ කිසිවක් දැන සිටියේ නැත.

පත්බේරියේ විමලඥාන හිමියෝ මේ සියල්ල දැනගත්තේ මුරුත්තෙට්ටුවේ හිමියන් වන්දි මුදල් ලබාගත් පසුවය. උන්වහන්සේ මේ වන්දි මුදල ලබා ගැනීම සඳහා කූට ලේඛන, රබර් මුද්‍රා සියල්ලම උපයෝගී කරගෙන තිබුණේය. මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය මත එවකට හිටපු රාජ්‍ය නිලධාරීන් පවා මුරුත්තෙට්ටුවේ හිමියන්ට දණ්ඩ නමස්කාර කර කූට ලේඛන පිළිගත්තේය. මේ අවනඩුව පත්බේරියේ විමලඥාන හිමියෝ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණ සාමග‍්‍රිධර්ම මහා සංඝ සභාවට පැමිණිලි කර සිටියහ. සංඝ සභාව සාධාරණ විසඳුමක් ලබා දෙන්නට මැදිහත් වුණත් අවසානයේ සංඝ සභාවේ ලේඛකාධිකාරී බෙල්ලන්විල විමලරතන හිමියන්ට අභූත චෝදනා නගමින් මුරුත්තෙට්ටුවේ හිමියෝ අසංවර ලෙස හැසිරී තිබුණේය. අවසානයේ අධිකරණය තෙක් මේ අර්බුදය දිගහැරුණේය. එහෙත් එකී කාල සීමාව තුළ වන්දි මුදලේ ඉතිරි කොටස වන රුපියල් එක්කෝටි අනූතුන් දහස් හයසියයක මුදල ද මුරුත්තෙට්ටුවේ හිමියන් ලබාගෙන තිබුණේය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා දුන් නියෝග අනුව ඉතිරි මුදල මහා භාරකාරයාගෙත් විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙත් ඒකාබද්ධ ගිණුමක තැන්පත් කිරීමටත් එම මුදල්වල පොලී මුදලෙන් අභයාරාමය සංවර්ධනය කිරීමටත් නියෝග දුන්නේය. එම නියෝග නොතකා මුරුත්තෙට්ටුවේ හිමියෝ සිය දේශපාලන සම්ප‍්‍රදායට අනුව කටයුතු කර තිබුණේය. වන්දි මුදල වැය කළ ආකාරය පිළිබඳව මහා භාරකාර දෙපාර්තමේන්තුවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලබා දුන් ලේඛන විහිළුසහගතය. 2015.05.14 මහා භාරකාර දෙපාර්තමේන්තුව පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන්ට ලබා දුන් ලේඛනවලට අනුව මුරුත්තෙට්ටුවේ හිමියෝ වන්දි මුදල සඳහා වූ නඩුවේ නීතිඥ ගාස්තු සඳහා වන්දි මුදලින් දෙලක්ෂ විසිඑක් දහසක් වියදම් කර තිබුණේය. විහාරයේ සාදා තිබූ ගොඩනැගිලි වෙනුවෙන් ලේඛන ඉදිරිපත් කර මුදල් ලබාගෙන තිබුණේය. ‘දිව්‍ය ලෝකය’ ද ‘අපාය’ ද පෙන්වා උන්වහන්සේ මුදල් කොල්ල කා තිබුණේය.
අභයාරාමයේ ‘දිව්‍ය ලෝකය’ ඉදිකර ඇත්තේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෙනරත් විසිනි. එහි සමරු ඵලකය ද විහාරස්ථානයේ තිබේ. එසේ තිබිය දී ‘දිව්‍ය ලෝකය’ පෙන්වා ඊට වැය වූ බවට ගණන් හිලව් සකස් කර විහාරස්ථානයට ලැබුණු වන්දි මුදල කොල්ල කෑම භික්ෂුවකට කිසිසේත් ගැළපෙන්නේ නැත. උමං විහාරය හෙවත් ‘අපාය’ පිළිබඳව තත්ත්වය ද මේකමය. අභයාරාමයේ දාන ශාලාව ඉදිකරවා සඟ සතු කර තිබෙන්නේ නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති ධර්මදාස මුදලාලි මහතා විසිනි.

එම දාන ශාලාව ඉදිකර තිබුණේ මෙම වන්දි මුදල් ලැබෙන්නට පෙරය. එසේ තිබිය දී එම දාන ශාලාව පෙන්වා මුරුත්තෙට්ටුවේ හිමියෝ රුපියල් ලක්ෂ දෙකක් යටිමඩි ගසා ඇත්තේය.

මේ නොමඟ යැවීමට එවකට හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් මහා භාරකාර තැනත් අසු වී තිබිණි. පොදු මහත් සංඝ සමාජය සතු දේපළ අත්තනෝමතික ලෙස පරිහරණය කරන්නන්ට බෞද්ධ සාහිත්‍යයේ කියනු ලබන්නේ ‘හට්ටි පෙරේතයන්’ කියාය.

මුරුත්තෙට්ටුවේ හිමියෝ කූට ලේඛන සකස් කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේටත් රාජ්‍ය නිලධාරීන්ටත් බරපතළ වංචා සිදුකර ඇත්තාහ. සංඝ සභාවේ සම්මත කිරීමට පයින් ගසා ඇත්තාහ. මුසාවාදා දේශනා කිරීමට අමතරව රබර් මුද්‍රා මඟින් හිමි නැති විහාරාධිපතිකමක් අත්පත් කර ගත්තාහ. භික්ෂු සමාජයේ පිළිගන්නා ත‍්‍රිකෝටික පාරිශුද්ධ ශීලයටම මුරුත්තෙට්ටුවේ හිමියෝ කෙළ ගසා ඇත්තාහ. දැන් අභයාරාමය කොහොමටත් සොරුන්ගේ තිප්පොළක් බඳුය. දිව්‍ය ලෝකයත් අපායත් පෙන්වා විහාරාධිපති ස්වාමීන් වහන්සේත්, රාජ්‍ය නිලධාරීනුත් රටේ ජනතාවත් නොමඟ යැවූ මුරුත්තෙට්ටුවේ හිමියන්ට කවර නම් දිව්‍ය ලෝකයක, කවර නම් අපායක දොරටු විවර වේදැයි අපි නම් දන්නේ නැත.

දයා නෙත්තසිංහ 

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment