Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත නොකී පොලිසියේ කතාව


මෙරට සිටි දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඩීන් ඝාතනය කිරීම පිළිබඳ මූලික පරීක්ෂණ සියල්ල මේ වනවිට අවසන්ව තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවේ. සැබෑ අපරාධකරුවන් කවුරුන් ද? එම අපරාධකරුවන් සම්බන්ධයෙන් පවතින දේශපාලන සහ අනෙකුත් වටපිටාවන් මොනවාද? අපරාධය වසන් කිරීමට මුල් වූයේ කවුරුන් ද? ඒ සඳහා පොලිසිය තුළින් සීමිත වෙනසක් කරන ලද්දේ කවුරුන්ද? මූලික විමර්ශනවල සියලූ කරුණු ඕනෑවටත් වඩා සාක්ෂි සහිතව ඔප්පු කරගෙන අවසන්ය. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ඉදිරියට ගෙන යා යුතු පරීක්ෂණවලට දේශපාලන නොනගතය හරස් වී ඇත.

මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ දේශපාලන බලය විසින් පොලිසිය ආංබාන් කරන ආකාරය කුමන මොහොතක හෝ පුපුරා යාම ගැන විමසා බැලීමය. එයින් පොලිසියේ ඌෂ්ණයට අත්වන ඛේදනීය තත්ත්වය කුමක්ද යන්නත් පිළිබඳව විමසා බැලීමය. එයට පාදක කරගන්නේ වසීම් තාජුඩීන් ක්‍රීඩකයාගේ ඝාතනයයි. එනිසා තාජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල වර්තමාන තත්ත්වය සැකෙවින් විමසීම අවශ්‍ය ය.

මෙම ක්‍රීඩකයාගේ ඝාතනය පිළිබඳව මූලික පොලිස් පරීක්ෂණ පැවරී තිබුණේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයට ය. වසීම් තාජුඩීන් ඝාතනය කළේ 2012 මැයි 17 වැනිදාය. ඒ වන විට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටියේ සුමිත් චමිපික පෙරේරා ය. බොහෝ කාලයක් කල් යාමෙන් පසුව මේ සම්බන්ධයෙන් මූලිකව ප‍්‍රශ්න කළ යුතුව තිබූ සුමිත් චම්පික පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබා ගන්නා ලද්දේ පසුගිය අප්‍රේල් 20 වෙනිදා ය. ප‍්‍රකාශය ගැනීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා සුමිත් චම්පික පෙරේරා එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදුව මැයි 05 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව පුවත්පත් සිරස්තල නිර්මාණය කර තිබුණේ විවිධ ආකාරයටය. ‘තාජුඩීන් ඝාතනය - ඕ.අයි.සී. තොරතුරු වමාරයි,’‘හිටපු නියෝජ්‍ය  පොලිස්පති අත්අඩංගුවට’, ‘නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ඕ.අයි.සී. අල්ලයි.’‘නාරාහේන්පිට හිටපු අපරාධ විමර්ශන  ඕ.අයි.සී. රිමාන්ඩ්, ‘ඉහළ නියෝගයක් ඇවිත් තාජුඩීන් පරීක්ෂණය රිය අනතුරකට හැරෙව්වා - සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි.’ ආදී වශයෙන් පළ කර තිබුණේය. මෙයට අමතරව නව පොලිස්පති පූජිත ජයසුන්දර මේ ගැන කර තිබූ ප‍්‍රකාශය ද වැදගත් ය. ‘තාජුඩීන් සිද්ධියට තවත් ගන්නවා.’ යනුවෙන් ය. පොලිස්පතිකමට පත් වූ සැණින් දිව්‍යඥානය පහළ වන්නේ නැත. සිදුවීම පිළිබඳව අලගිය තැන්, මුලගිය තැන් ගැන මනා අවබෝධයක් නැතිව මෙවැනි ප‍්‍රකාශ කරන්නේ නැත. කටට ආ පළියට මෙවැනි ප‍්‍රකාශ කරන්නේ ද නැත. නව පොලිස්පතිවරයා "තවත් ගන්නවා" යනුවෙන් පවසන්නේ කට මැත දෙඩවීමටද නොවේ ය. අපරාධය පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ කරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂගේ අතකොලුවක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ධුරය යොදාගත් අයෙකු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බව කවුරුත් දනිති. එවැනි වගකිව යුත්තෝ කීප දෙනෙක් ම සිටිති.

මහින්ද රාජපක්ෂ බලයේ සිටියදීම මෙයට අදාළව මූලික තොරතුරු රැසක් ‘ලංකා’ විසින් හෙළි කරනු ලැබී ය. 2012 මැයි 17 අළුයම 1.45ට පමණ නාරාහේන්පිට ‘ශාලිකා’ ක්‍රීඩාංගණය අසල වාහනයක් ගිනිගෙන දැවෙන බවට පොලිසියට දුරකථන පණිපුටයක් ලැබී තිබිණ. එය ජංගම සේවයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමකට දන්වන ලදුව ඔවුන් එහි ගොස් මුල දී ම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාවට කැඳවා තිබිණ. ඉන්පසු හෙළිවී ඇත්තේ අංක KQ – 6543 දරන කාර් රථය ගිනිගෙන ඇති බවත්, එහි වම්පසින් පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවත් ය. මියගොස් සිටින තැනැත්තා වසීම් තාජුඩීන් බව හෙළි වී ඇත්තේ පසුව ය. ඒ ඔහුගේ පර්ස් එක සහ හැඳුනුම් පත ඇතුළු භාණ්ඩ කීපයක් කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබී හමුවීමෙන් ය. වාහනය ගිනිගෙන තිබූ ආකාරය සහ පර්ස් එක රොබට් ගුණවර්ධන මාවතේ තිබී හමු වීම යන මූලික කරුණු දෙක මත මෙය හදිසි අනතුරක් නොව සැලසුම් කළ මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වූයේ ය. දැන් සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගෙන සිටින්නේ ඝාතනය පිළිබඳ තොරතුරු වසං කිරීම පිළිබඳව ය.

මෙම තොරතුරු වසන් කර තිබෙන්නේ සුමිත් පෙරේරාගේ අවශ්‍යතාවයට නොවේ. ඉහළින් ආ නියෝග අනුව ය. ඔහුට ඉහළින් නියෝග දුන් පුද්ගලයන් කවුරුන් ද? මේ තොරතුරු කිසිවෙකුට රහසක් නොවේ ය. පොලිසිය තුළ සුමිත් පෙරේරාට නියෝග දීමට සිටියේ එවකට කොළඹ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක ය. මාධ්‍ය වාර්තා පළ කර තිබූ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සුමිත් පෙරේරා සියල්ල වැමෑරුවේ නම්, ඊළ`ගට බෙල්ල මුලින් ම මාට්ටු වන්නේ අනුර සේනානායක ය. ඔහුට ඉහළින් සිට නියෝග දී තිබෙන්නේ කවුරුන් දැයි පසුව හෙළිවෙනු ඇත. අවසානයේ පොලිසියට පිටින් සිටින දේශපාලන බලය තිබූ බලවතුන් හමුවන්නේය. එයට පෙර මෙම මරණය ඝාතනයක් නොව රිය අනතුරක් බව ප‍්‍රකාශ කළ පොලිස් නිලධාරීන් සියලු දෙනාම සාක්ෂි  දීම කරන බව පැහැදිලිය. දේශපාලන බලයන් මාට්ටු වන්නේ පසුව ය. දැන් ඉතා ම පැහැදිලි වන්නේ තමන්ගේ ගැලවීම වෙනුවෙන් හිටපු සහ සිටින පොලිසියේ ලොක්කන් බොහෝ දෙනෙක් දේශපාලන බලය දැරූ අය පාවාදෙනු ඇති බවය.

තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත නොකී පොලිසියේ කතාව කුමක්දැයි මෙතැන් සිට විමසා බැලේ. පොලිසිය පසුගිය කාලයේ රටේ දේශපාලන අපරාධකරුවන් වසන් කිරීම සහ තමන්ගේම අපරාධ වසා ගැනීම යන රාජකාරී දෙකට වැඩිය බරක් තබා කටයුතු කළේ ය. රටේ දේශපාලන අපරාධකරුවන් වසන් කර සුදුහුණු ගෑම් පිළිබඳ ප‍්‍රබල නිදසුන් රැසක් ය.

2011 ඔක්තෝබර් 08 වෙනි දින පැවැති පළාත් පාලන මැතිවරණ කීපයකට අදාළව කොලොන්නාව ප‍්‍රදේශයේ භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වාගේ දෙපිරිසක් අතර පැවැති යුද්ධය පිළිබඳ තොරතුරු වසං කිරීම ප‍්‍රධාන එකක්ය. ඒ ගැන පරීක්ෂණ තවමත් හරිහැටි කෙරෙන බවක් නොපෙනේ. නීති විරෝධී ස්වයංක්‍රීය ගිනි අවි තොගයක් යොදාගෙන සිදු කළ මෙම මරා ගැනීම පැවැති සහ පවතින දේශපාලන බලය හීන් නූලෙන් යටකර හමාරය. මේ පිළිබඳ නිවැරදි පරීක්ෂණ පැවැත් වුවහොත් කාගේ කාගේත් කිල්ලෝටවල නොව කන්ටේනර් පිටින් ගොඩ ගසා තිබෙන අපරාධ පිළිබඳ හෙළිවන්නේ ය.

රටේ සිදුවූ අපරාධ අතර තවමත් නොවිසඳී පවතින අභිරහසක් නොවූ අභිරහසක් වන්නේ කොටකෙතන ඝාතන රැල්ලය. එය එම ප‍්‍රදේශයේ පමණක් නොව මුළු රටම දැඩි කම්පනයකට පත් කළ ඝාතන රැල්ලක් වූයේය. සැබෑ පරීක්ෂණ දියත් කර අපරාධකරුවන් සොයා දඬුවම් පමුණුවනු වෙනුවට දේශපාලන සහ පොලිස් ඒකාබද්ධ සංදර්ශන පැවැත්වීමකට යටත් කළේය. මුලසිටම කරගෙන ගිය නිවැරදි පොලිස් පරීක්ෂණ සඳහා දැඩි බලපෑම් එල්ල වූයේය. අවසානයේ පොලිස්කෙරුමෙකු වශයෙන් හැඳින්වූ වාස් ගුණවර්ධන යෙදවීය.

කොටකෙතන පරීක්ෂණ අවසන් කර ජනතාවගේ මර බිය දුරු කළ බවට ඉතා ම ඉහළින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීය. වාස් ගුණවර්ධනට රත්නපුර ප‍්‍රදේශයේ ජනතාවගේ උපහාර දක්වන තැනට සංදර්ශන කටයුතු පෙළ ගස්වා තිබිණ. එහෙව් වාස් ගුණවර්ධන සහ පවුලේ සාමාජිකයන් දැන් හිරගෙදර ළගින්නේ ය. පොලිස් රැස්වළල්ලක් හදාගෙන පවුල් පිටින් හවුල් වී කළ අපරාධ සහ පාතාල කි‍්‍රයා හෙළි වී ඇත්තේ ය. වාස් ගුණවර්ධන කොතරම් පාතාලයෙකු ලෙස වැඩ කළේ ද යන්න තහවුරු වූයේ අත්අඩංගුවේ සිටියදී ම පොලිස් පරීක්ෂක ශානි අබේසේකරට මරණීය තර්ජන එල්ල කිරීමට තරම් අලුගෝසුවෙකු වීමෙන් ය. පොලිස් නිල ඇඳුම ඇඟලාගෙන සිටි එකම අලුගෝසුවා වාස් ගුණවර්ධන පමණක් බව මෙයින් නොකිය වෙන්නේය.

මේ පිළිබඳ හෙළි වූ හොඳම නිදර්ශනය වන්නේ 2011 වසරේදි මොරටුව අඟුලාන ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම ය. මෙම ඝාතන කරන ලද්දේ එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත බව ඔප්පු වූයේ ය. මෙම ද්විත්ව ඝාතන පිළිබඳව මාධ්‍ය මඟින් කරුණු හෙළි කරන විට පොලිසියේ බොහෝ ලොක්කෝ මාධ්‍යයට එරෙහිව අවි ඔසවාගෙන සිටියහ. නමුත් මුලින් ම පොලිස් පොඞ්ඩෝ ද, පසුව පොලිස් ස්ථානාධිපති ද මේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූහ. 2016 ජනවාරියේ ඇඹිලිපිටිය  තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූයේ ද මෙවැනි ම තත්ත්වයක්ය.

ඉතිහාසයේ ඉතා නින්දිත ම පොලිස් අලුගෝසු ක්‍රියාව මෙය බවට එක් වී ඇත්තේ ය. අරක්කු බෝතලයකට තරුණයෙකු දස වධ දී මරා දැමීම ය. මේ සම්බන්ධයෙන් අපරාධකරුවන් වසන් කිරීමට පොලිසිය නොගත් උත්සාහයක් නැති තරම් ය. නමුත්, මාධ්‍ය මගින් දිගින් දිගට ම කරුණු සහිතව තොරතුරු හෙළි කිරීම හමුවේ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවූයේය. දැන් එම චූදිතයන් ලගින්නේ ද හිර කූඩුවේ කම්බි කූරු ගණන් කරමින් ය.

මෙම නිදසුන් පොලිසිය තමන්ගේ ම අවශ්‍යතා අනුව අලුගෝසුවන් වූ ආකාර පිළිබඳව ය. අනික් පැත්තෙන් දේශපාලන බල වුවමනාවන් අනුව පොලිසිය මිනීමැරූ අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් ප‍්‍රබල නිදසුන් ඇත්තේය. මෙයට කියන අපූරු යෙදුමක් වේ. "පොලිසිය අවම බලය යෙදවීම" යනුවෙන් ය. දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතාවය මත පොලිසිය "අවම බලය යෙදවීමට" ක්‍රියා කිරීම හැමවිටම සාර්ථක වන්නේ ද නැත. එවිට කියන වෙනත් නමක් වන්නේ "පොලිසිය සීමාව ඉක්මවා අවම බලය යෙදවීම" යන්න ය. වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ දේශපාලන බලය හමුවේ යටගැසීම සේම අවම බලය යෙදීම් යන්න ද කිසියම් මොහොතක ආපිට පත්තු වන සුළු ය. එවැනි අවස්ථාවල "සීමාව ඉක්මවා අවම බලය යෙදවීම" ආදී වශයෙන් කියා බේරීමට නොහැක්කේ ය. නමුත් ධනපති පාලකයන් මෙවැනි තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ නොපවත්වන්නේ ය. එය  ඕනෑම ධනපති පාලකයෙකුට අහිතකර වන බැවින් ය.

අවම බලය යෙදවූ අවස්ථා ගණනකට නිදසුන් කීපයක් මෙසේය. 2011 මැයි මස කටුනායක දී නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ට වෙඩි තැබීම සහ ඉතා තිරශ්චීන ප‍්‍රහාරයක්  එල්ල කිරීම ය. එයින් රොෂේන් චානක නම් තරුණයා ඝාතනය කෙරිණ. ඔහුගේ අවමගුල් උත්සවය හෝ නිදහසේ කිරීමට ඉඩ නොදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව යොදවනු ලැබී ය. මහින්ද රාජපක්ෂගේ දෙපා ඉදිරියේ නම්මවාගෙන තිබූ අධිකරණයෙන් වාරණ නියෝග ද ලබා ගැනිණ. සීමාව ඉක්මවා අවම බලය යෙදවීම සහ එයට එරෙහිව එල්ල වූ මහජන විරෝධය වළක්වා ගැනීමට බලය යෙදවීම එසේ ය. එම ප‍්‍රහාරයෙන් ආබාධිත වූ ගැබිණි මව්වරුන්, තරුණියන් හා කාන්තාවන් ඇතුළු වින්දිතයන්ට සිදු වූයේ කුමක් දැයි සාධාරණ පරීක්ෂණ හවුල් ආණ්ඩුවෙන් හෝ නැත. 

මෙවැනි ම තත්වයක් 2013 අගෝස්තු මස රතුපස්වල දී මුදාහැරිණ. පාසල් සිසුන් දෙදෙනෙකු සහ කම්කරුවෙකු රතුපස්වල දී මරාදමන ලදහ. ඒ මහින්ද රාජපක්ෂ පවුලේ ළඟ ම හිතවතෙකුගේ ව්‍යාපාරයක් ආරක්ෂා කර දීම සඳහා ය. යහපාලනය පිහිටුවන බවට පොරොන්දු වූ හවුල් ආණ්ඩුව 2015 ඔක්තෝබර් මස තාක්ෂණ විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ විරෝධතාවක දී ඔළු පැලී ය. එය කෙතරම් පහත් තුච්ඡ ලෙස පොලිස් නිල බලය යෙදවි දැයි සාක්ෂි වීඩියෝ පට සහ ඡායාරූප මාධ්‍ය මගින් එළිදැක්වී ය. එහිදී කාමුක පොලිස් නිල ඇඳුම්කාරයෙකු ශිෂ්‍යාවකගේ පයෝධර මිරිකීම දක්වා අවම බලය යෙදී ය. තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත නොකී පොලිසියේ කතාව මේ වැනි තත්වයන් දක්වා පැතිර තිබෙන්නේ ය. ධනපති පාලනයක් යටතේ පොලිසියෙන් මෙවැනි දෙයක් නොවූවොත් පමණක් පුදුම විය යුත්තේය. එය සත්‍යයක් වන තරමටම අඟුලාන පොලිස් ලොක්කා, වාස් ගුණවර්ධන, ඇඹිලිපිටිය පොලිස් ලොක්කන් සහ සුමිත් චම්පික පෙරේරා වැනි අයට විඳින්නට සිදුව තිබෙනදේ ද යථාර්ථයක් බව ඉතිහාසය කියා දී ඇත.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment