මෛත්‍රීගේ රෙද්ද අස්සට වී උනුන් කාකොටා ගන්නා නයි පොළොගුන් හා යහපාලනය.


අර්ජුන් මහේන්ද්‍රන් යහපාලන ආණ්ඩුවේ අනාගතය තීරණය කිරීමට නියමිතව තිබිණ. එය කාගේත් යහපතට හේතුවන පරිද්දෙන් අවසන් විය. ජනවාරි 8 පැතූ යහපාලනය මේකද ? සාධාරණ සමාජයක්  සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය නැවත නැවත ප‍්‍රශ්න කරන්නේ මෙවැනි කරුණුය. මෙහිදී අප ආපසු මහින්ද රාජපක්‍ෂ පළවා හළ සටන් ඉතිහාසයට යොමු වෙමු. එකී සටන සාරාංශ කළ විට වර්තමානය සහ අනාගතය සඳහා උචිත මාර්ගය විවර කරගත හැකිය.

මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලන සටන ආරම්භ කළේ රට සදාචාර සම්පන්න කිරීම සඳහාය. රටට අනාගතයක් නිර්මාණය කිරීම සඳහාය. ඒ සඳහා ව්‍යාපාරය මෙහෙයවමින් මහින්දට මුහුණ දිය හැකි නායකයෙකු සිටියේ නැත. එහි තේරුම රටේ දේශපාලනය පන්නරය සහිත චරිත නො සිටියා යන්න නොවේ. මහින්ද රාජපක්‍ෂ අත පැවති ජාතිවාදී අධිපතිවාදී සූදුව බෙහෙවින් බියකරු වූ නිසාය. සියළු බලවේග සහ චරිත නිශේධව තිබිණ. විවිධ හේතු නිසා මේ වනවිට එජාපයද නායකයෙකු සොයමින් සිටීම පැවති බරපතලම තත්වයයි. රාජපක්‍ෂ යාන්ත‍්‍රණය හමුවේ සකල විපක්‍ෂ දේශපාලනයම සිටියේ ආබාධිත තත්වයෙනි. සෝභිත හාමුදුරුවන් වහන්සේ පොදු අපේක්‍ෂක සංකල්පය ඉස්මතු කළේ ඊට පිළියමක් හැටියටය. සාධාරණ සමාජයක්  සඳහා ජාතික ව්‍යාපාරය පිහිටුවීමේ ආරම්භක සාකච්ඡාව පැවතියේ පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේය. එදා කරු ජයසුරිය සරත් පොන්සේකා පමණක් නොව රාජපක්‍ෂ සමග සිටි වාසුදේව නානායක්කාර පවා පැමිණ සිටියේය. කරු ජයසුරිය මෙන්ම වාසුදේව නානායක්කාර කියා සිටියේ තමන් පැමිණීයේ පුද්ගලයන් හැටියට මිස දේශපාලන පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. එදා හිරුනිකා ප්‍රේමචන්ද්‍රද මෙතනට රිංගා කතාවක් කිරීමට සමත් වූවාය. ඒ වනවිට හිරුනිකා කොටු කිරීමේ රාජපක්‍ෂ මෙහෙයුම ක්‍රියාත්මකව පැවතිණි. රැස්වීම අවසානයේ කිහිප දෙනෙකු හාමුදුරුවන්ට හිරුනිකා පිළිබඳ තත්වය දන්වා සිටියහ. ඒ අවස්තාවේ  එතුමන් කීවේ කුමක්ද ?

‘කමක් නැහැ මහත්තයෝ මිනිස්සු එයි, යයි. අපිත් යමු. මහින්ද එක්ක ඉන්න අයට මෙතන තහනම් කළොත් අරමුණ දිනා ගැනීමට අමාරුයි. හිරුනිකා ළමයා යනවා නම් ගියාවේ, බලමු කියාය. ඊළඟ සතියේ පොලොන්නරුවේ නිදහස් සන්ධාන වේදිකාවට නැගුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගීත ගායනා කළාය. මේ කියන්නේ 2013 වසරෙහි කතාවකි. 2015 ජනවාරිය වනවිට හිරුනිකා හිටියේ මහින්දට එරෙහි වේදිකාවේය. අගෝස්තුවේ හෙළ උරුමයේ අනන්‍යතාවය වැනිවූ අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික මැතිවරණයට තරග කළේ එජා පෙරමුණ යටතේය. මේවා දේශපාලන සිද්ධි විග‍්‍රහයකදී පුංචි නැත. එය පුරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රටේ දේශපාලනය උඩු යටිකුරු කළ හැටිය. ඒ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ මහින්ද පරදවා තවත් පරපුරකට රට භාරදීම නොවේ. රටේ යහපත පිණිස පරපුරක් නිර්මාණය කිරීමය. රට සදාචාර සම්පන්න කිරීමය. ඒ කිසිවක් මේ වනවිට සිදුවී නැත. අදටත් ඒ සද්ව්‍යායාමය එසේම පවතී. හෙවත් රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමේ ජාතික ප‍්‍රයත්නය කාලීන අවශ්‍යතාවක් බවය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා ලෙස පිලිගත්තේ එකී කාලීන අවශ්‍යතාවයට අනුකූලවය. ඒ කිසි තැනක මෛත්‍රීපාල නැවත තමන් සිටි ගුබ්බෑමයට යාම ගැන කිසිවෙකු විමසා නොතිබිණි.

දේශපාලන පක්‍ෂ එක්වීම මෙන්ම වෙන්වීමද ජනවාරි ජයග‍්‍රහණය අපේක්‍ෂිත තත්වයකි. ජනවාරි ජයග‍්‍රහණයේ මේ චින්තන රටාව මෛත්‍රී හෝ රනිල් හෝ හදාරා නැති බව පෙනේ. රනිල් වික‍්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන් කරතබා ගත්තේ ලංකාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය වගේය යන මනෝ විකාරයෙනි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය සමග කූට්ටාලි වුණේ ලංකාව ඩාර්ලි පාරේ පක්‍ෂ මූලස්ථානය ලෙස කල්පනා කරමිනි. දෙදෙනාම තැත් කළේ ජනවාරි ජයග‍්‍රහණ ආකල්ප තනිකර සිය දේශපාලන රටා තුල ගුලිවී සිවිල් ක්‍රියාකාරීන් කෝප කිරීමය. ජනවාරි ජයග‍්‍රහණය සහතික කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අඩයාලම ස්ථාපනය කිරිමෙනි. මෛත්‍රීගේ පටන් සියලුම දේශපාලනඥයන් මේ තත්වය තේරුම් ගත යුතුව තිබේ. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි. විශ්වාස හරහා මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ඇදහීම් නිර්මාණය විය. මහින්ද  රාජපක්‍ෂ පෙරළා දැමිය නොහැකි බවට ගොඩ නැගුණ විශ්වාසයක් තිබිණ. ඒ විශ්වාසය ශක්තිමත් කිරීමට ඇදහිල්ලක් නිර්මාණය විය. ඒ ඇදහිල්ල කුමක්ද ? යුද්ධය දිනා ගත් නිසා මහින්ද හොරකම් කළාට වරදක් නැත යන්නය. අන්ධ විශ්වාසයක් අන්ධ ඇදහීමක් සමාජයක් රටක් විනාශ කරන්නේ එහෙමය. එය ජීවිතාරක්‍ෂාව පිණිස සතුන් බිලිදීම වැනි මිත්‍යාවකි. බුද්ධාගම අනුව හෝ, හොරකම් කළාට කමක් නැත කීමද පාපයකි.

මහින්ද හොරකම් කළාට කමක් නැත කියා කියවා ගත්තේ ඇයි ? මහින්ද හොරකම් කළ නිසාය. සොල්දාදුවන් රණවිරුවන් කරන්නේ ඇයි ? ඔවුන්ට එල්ලවන අපරාධවලින් වැරදිවලින් බේරා ගැනිම පිණීසය. එහෙත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව සරත් පොන්සේකා ඡන්දය ඉල්ලීම නිසා ඔහු සිරගත කළේය. ඒ අවස්ථාවේ සරත් පොන්සේකා තම හමුදාපති බව මහින්දට අමතක විය. මහින්ද රාජපක්‍ෂ ඒ හැසිරීම තුල සියලු ජරාජයන් ලබා හමාරය. නැවත මහින්ද ඔසවා තබන මහින්දවාදිහූ රට අවුල් කිරීමට අස්සේ ගෝපයියන් ලෙස හැසිරෙමිනි.

ඒ නිසාම, මෛත්‍රී පාලනය යටතේද, දුෂණ වංචා නතර කිරිමේ ප‍්‍රයත්නයට එරෙහිව යුද්ධය දිනා ගත් නිසා හොරකම් කළාට වරදක් නැත කියන්නෝ සිටිත්. ගෝඨාභය නායකයා කිරීම යනු ඍජුව ව්‍යාපෘතිය වේ. එය කුණුහරුපයකි. අද සක්‍රිය දේශපාලනයේ  පවත්නා පරස්පරය එයයි. මහින්ද රාජපක්‍ෂ ජපන් ටයිම්ස් පත‍්‍රයට කීවේ කුමක්ද ? දේශපාලන පලිගැනීම් සිදුවන්නේ තම පවුලට පමණක් බවය. එහි තේරුම දේශපාලන පලිගැනීම් යනු මහින්ද, ශිරන්ති, ගෝඨා, බැසිල් නාමල්, යෝෂිතට එරෙහිව ක්‍රියාවන් පමණකි. ලලිත් වීරතුංග අනුෂ පැල්පිට ආදිහූ වෙනුවෙන් වෘතිය හයියෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට තර්ජනය කරයි.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය නැවත සිය එකමුතුව රැස් කළේ ජනවාරි ජයග‍්‍රහණයෙන් අපේක්‍ෂිත කිසිවක් සිදුවී නැති නිසාය. මහින්ද රාජපක්‍ෂ පරාද කළා කියා රටම උද්දාමයට පත්වූ බව සැබෑය. එහෙත් මහින්ද රාජපක්‍ෂ පරාද කිරීමෙන් රටේ දේශපාලන සදාචරය අලූක්කාලක් හෝ වෙනස්වි තිබේද ? මේ ප‍්‍රශ්නය යොමු කළ යුත්තේ කාටද ? අපරාධ චෝදනා නැගුණ්‍ර අනුෂ පැල්පිට වැටුප් ලැබීම ගැන ප‍්‍රශ්න කෙරිණ. ඔහුගේ වැඩ තහනම් විය. තිලින ගමගේ විනිසුරු අසුනෙන් බස්වනු ලැබීය. ඒ සිවිල් සංවිධාන ප‍්‍රශ්න කළ නිසාය. එහෙත් 2015 පෙබරවාරියේ  සිට දූෂණ චෝදනා නැගෙන අර්ජුන් මහෙන්ද්‍රන් ගැන මෙතරම් හා හූවක් ඇයි ? මහ බැංකු අධිපතිවරයා යනු තවත් රජයේ සේවකයෙකු පමණි. ඔහු ගැන තීරණයක් ගැනීමට මෙතරම් තටමන්නේ ඇයි ? සිවිල් පුරවැසි බලය කල්පනා කරන්නේ යහපාලනය පිළිබඳ නිසි බලධාරියා මෛත්‍රීපාල සිරිසේන කියාය. ඔහු විජේදාස රාජපක්‍ෂ, වජිර අබේවර්ධන මෙන් සිල් බිඳගෙන නැත. පොදු අපේක්‍ෂකයා වෙමින් මහින්දට මුහුණ දුන් පුරවැසි පළිහ ලෙස අභිෂේක ලත් මෛත්‍රීපාල සිරිසේන සිය වගකීම් කරට ගෙන නැත. සිවිල් බලය සමාජය තුළ හිදැසක් අපේක්‍ෂා කරන්නේ ඒ නිසාය. සමහර විට මෛත්‍රීපාල සිරිසේනට මේ ගැන ලජ්ජා හිතෙනවා විය හැකිය. එහෙත් සැබෑ සත්‍ය යනු ඊට වඩා වෙනස් දෙයක් නොවේ.

මහින්ද පරාජය කළේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසිනි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති වුණේ ඡන්ද ප‍්‍රතිඵලයක් හැටියටය. ඔහු තමන් ඡන්ද ප‍්‍රතිපලයක් පමණක් නොවන බව සහතික කර නැත. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ව්‍යාපාරය අපේක්‍ෂා කළ කිසිවක් සිදු වී නැත්තේ ඒ නිසාය. සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතය ගැන පරීක්‍ෂණ අවසන් විය. කළ යුතුව තිබුණේ වගකිව යුතු අය අධිකරණයට ඉදිරිපත් කිරිමය. එහිදී සිද්ධ වුණේ හොරුන් බේරිය හැකිදැයි නැවත සලකා බැලීමට අදාල ලිපි ගොනුව නැවත නීතිපති වෙත යැවීමය. එය කළේ මහින්ද රාජපක්‍ෂ නොවේ. එක්කෝ අගමැතිය, නැතහොත් ජනාධිපතිය. කවුරු කළත් එය නිතියේ ආධිපත්‍ය වෙනුවෙන් දිවුරා සිටින අගමැතිට හෝ ජනාධීපතිට ඒ ක්‍රියාව තරම් නොවේ. පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට පත් ලලිත් වීරතුංගට, අනුෂ පැල්පිටට නඩු පැවරූ ආකරය විකෘතියකි. කවුරු කළත් එය නැහැදිච්චකමකි. අලි හොරකම සඳහා අත් අඩංගුවට පත් උඩුවේ ධම්මාලෝක හිමිට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප දීමද කාගේ හෝ නැහැදිච මැදිහත්වීමක ප‍්‍රතිපලයකි. වගකිවයුත්තන් ලෙස විමර්ශන විසින් හඳුනා ගත් සියලු දෙනා ප‍්‍රකාශ ලබාදීමට රහස් පොලිසිය වෙත කැඳවූහ. එහෙත් ශිරන්ති රාජපක්‍ෂට සැලකුනේ වෙනත් ආකාරයකටය. ඊට කවුරු මැදිහත් වුවත් එයද නැහැදිච්චකමකි. අත්අඩංගුවට පත් නොවී සිටීමට විනිසුරු තිලින ගමගේ පිළිකුල් සහගත ලෙස හැසිරුණේ සමහර විට ශිරන්ති රාජපක්‍ෂට සැලකු ආකාරය ගැන හිතේ පැවති ජොලිය නිසා විය හැකිය. මෙතන ඇත්තේ ගුරා හිටගෙන කරන දේ ගෝලයා පාර පුරා දුවමින් කිරීමකි. මහින්ද වෙනුවට මෛත්‍රී පත්වුනාට රටේ පාලනය අලුක්කාලක් හෝ වෙනස්ව නැත කීවේ ඒ නිසාය. මේ විස්තර කළේ ඡන්දයෙන් මහින්ද පරාද කළත් තවම මහින්ද ක‍්‍රමය රටේ ක්‍රියාත්මක බව තහවුරු කිරිමටය. විස්තර කළ සිද්ධි යහපාලන භාරකාරයන් රට බලා කියා ගන්නා විදියට සාක්‍ෂි වෙති.  මේ සියල්ල නීතියේ ආධිපත්‍ය තවමත් වලපල්ලේ බවට සාධක වෙති. මේ හරහා පාරිශුද්ධ ජනවාරි ජයග‍්‍රහණය හෑල්ලුවෙමින් පවතී. ජේසුස් ක්‍රිස්තුන් ඇණ ගසා මැරීම ඓතිහාසික වරදකි. ඉතිහාසය ඒ අපරාධය මනුෂ්‍ය සංහතිය පිට පැටවූයේ කෙසේද ? මළවුන්ගෙන් නැගිටීම ලෙස අර්ථ ගන්වමිනි. ඒ නිසා මේවා සෙල්ලම් නොතකා හැරිම් නොවන බව මෛත්‍රී විසින් සිහිකටයුතු වේ. එහෙම කියන්නේ කොළඹ රාජකීය සංස්කෘකිය ධර්ම චක‍්‍රය හෝ කුරුසිය වාසිය හමුවේ නොතකා හරින නිසාය. අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ අඩව්ව ඊට නිදසුනකි.

අපි මහින්දට අනුප‍්‍රාප්තිකයන් වූ ආණ්ඩුව දෙසට හැරෙමු

ජනවාරි ජයග‍්‍රහණය මෛත්‍රීපාලගේ හෝ රනිල්ගේ සින්නක්කර එකක් නොවේ. එහෙත් තවමත් අපට පෙනෙන්නේ එවැන්නකි. මෛත්‍රීට ශ්‍රීලනිපයට නායකත්වය දී ඒ පක්‍ෂයේ කොටසක් යහපාලනයට එක් කර ගත්තේය. ඒ සම්මුතිවාදී පැවැත්මකට අනුගතවෙමිනි. අනුගත සම්මුතිය යකාට ගිය බව 19 වෙනි සංශෝධනය බකල් කළ ආකාරයෙන් ඔප්පු විය. ජනවාරි ජයග‍්‍රහණය අපේක්‍ෂා කළ දේ 19 වෙනි සංශෝධනයෙහි නැත. එය මේ කියන නව පාලන කෙරුවාවේ විකෘතියකි. එළදෙන පැටවා බිහි කළ බව සැබෑය. එහෙත් එළදෙනගේ හිමිකරුවන්ට හිමිව ඇත්තේ  වැදෑමහ (umbilical cord) පමණකි. පැටවා කවුදෝ සොරා ගෙන ගොස්ය. වැදෑමහ හිමි වූ ජනවාරි ජයග‍්‍ර‍්‍රහණය එය කිරි ගසක එල්ලා බලා සිටිති. ගෙවුන වසර එක හමාර තුළ ජනවාරි සුරබිදෙනගෙන් කිරි දොවන්නේ අයිතිකාරයා නොවේ. පැටවා පැහැර ගත් තක්කඩියන් පිරිසකි. මාංචු වැටී උසාවි යන ජොන්ස්ටන්, බැසිල්, සජින් වාස්, ගම්මන්පිල මේන් යහපාලනය කියා මාංචු කුට්ටම පෙන්වා සිනාසෙති. එවැනි චෝදනා ගහණ අනුර යාපා, ඩිලාන් පෙරේරා යහතින් ඇමතිකම් කරති. අගෝස්තු මහ ඡන්දයට පසුව එකඟතාවක් නැති සම්මුතියට තවත් පිරිස් එක් විය. දැන් විධායක ක‍්‍රමය අහෝසි කිරිමට ශ්‍රීලනිපය විරුද්ධ බව පළවේ. ජනවාරි මතවාදය අගෝස්තුවේත් ජනතාව නැවත අනුමත කළහ. එක් වසරක් තුළ දෙවරක් ජනතාව ප‍්‍රතික්ෂේප කළ ශ්‍රීලනිපය යහපාලන සමුම්තියට කොන්දේසි දමා එය  විනාස කිරිමට පිඹුරු පත් සකසමින් සිටියි.

පවත්නා ආණ්ඩුවේ ශ්‍රීලනිප සම්මුතිය එවැන්නකි. ඒ විකෘතිය රනිල් වික‍්‍රමසිංහ හඳුන්වන්නේ ලිච්ඡවි මොකක්දෝ එකක් හැටියටය. අප දන්නා පරිදි ලිච්ඡවි පාලනය යනු සතුටින් එක්ව, සමගියෙන් එකඟතාවට පත්ව විසිර යාමය. 19 වෙනි සංශෝධනයේදී මේ දෙ පිරිස එසේ හැසිරිණිද ? මහ බැංකු අධිපති සිද්ධියේදි මේ දෙපිරිස දෙමලිච්චන් මෙන් කෑගසා ගත්හ. ලිච්ඡවින් මැරී අවුරුදු දහස් ගණනකි. යහ පාලනය අපේක්‍ෂා කළ මාදුළුවාවේ හාමුරුවන්ද අපවත් වූහ. එහෙත් අනුගාමික සිවිල් බලවේග සද්දෙන් හුස්ම ගැනීමට පටන් ගෙන ඇත.

මියගිය ලිච්ඡවි රජ දරුවන් කිසිවිටෙක රනිල් වික‍්‍රමසිංහ සොයා නොඑනු ඇත. එහෙත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය මෛත්‍රී සහ රනිල් වටකොට ප‍්‍රශ්න කරමින් සිටිති. මෛත්‍රී පත් කළේ ජනතාව විසිනි. අගමැති සහ ඇමතීන් පත් කළේ මෛත්‍රී විසිනි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය මස් රාත්තල ඉල්ලන්නේ මෛත්‍රීගෙනි. මේ අවස්ථාවේ ඔහුට පැවරෙන වගකීම අති මහත්ය. 2015 දෙසැම්බර් 9 වෙනිදා මෛත්‍රී සිය පළමු රැස්වීම මහනුවරදී පැවැත්වීය. එදා මෛත්‍රී තමන් ජනාධිපති වුනොත්, ශ්‍රීලනිපය සමග සම්මුති ආණ්ඩුවක් බිහි කරනවා කීවා නම් දිනන්නේ මහින්ද මිස මෛත්‍රී නොවේ. මම අගමැතිවූ පසුව විදේශිකයෙකුට මහ බැංකුව භාරදී ආර්ථිකය හදනවා කීවා නම් ජනවාරි 9 වෙනිදා අගමැති වෙන්නේ රනිල් නොවේ. බැසිල් රාජපක්‍ෂය. එසේම ශිරාල් ලක්තිලක, දයාන් ජයතිලක ලවා රනිල් මංගලට ගස්වන බව මෛත්‍රී දැන නො සිටින්නට ඇත. මේ සත්‍ය වටහා දීමට  සිවිල් බලවේගයට සිදුවීම පාපයකි.

ලිපිය ආරම්භයේ සිවිල් ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනටය. සින්දු කියන්නට මහින්ද වෙත ගිය හිරුනිකා ආපසු ආවාය. රතන හිමි, පාඨලී චම්පික එජාපෙරමුණෙන් තරග කළහ. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න එජා පෙරමුණෙන් පාර්ලිමේන්තු ගියේය. එහෙත් ඒ සියලු දෙනා පෙනී සිටිය යුත්තේ වගකිව යුත්තේ අලියාට, හක්ගෙඩියට නොවේ. අදේශපාලනික යහපාලන අරමුණු වෙනුවෙනි. මෛත්‍රීගේ වේදිකාව ගිනි තැබූ, මුතුහෙට්ටිගමට යහපාලනයට එක් විය හැකිය. සමනලී ඇතුළු කලාකාරයන්ට පහර දුන් කෙනාට යහපාලනයට එක් විය හැකිය. ජෝන් සෙනෙවිරත්න ඇමතිකම් දරයි. එහෙත් ඔවුන් තවම හුස්ම ගන්නේ හොරකම් කළාට කමක් නැත කියන මහින්ද චින්තනය වෙනුවෙනි. මිනීමැරුම්, පැහර ගැනීම් සිය ගණනක් පිලිබඳව පරීක්‍ෂණ නිම වෙමින් පවතී. ජෝන් සෙනෙවිරත්නට අවශ්‍ය ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රීලනිප නායකයා කිරීමටය. මේ කියන්නේ පරාදවූ ශ්‍රීලනිපයට මෛත්‍රීපාලගේ නායකත්වය  සුදුසු නැති බවය. ශිරාල් ලක්තිලකට, දයාන් ජයතිලක අවශ්‍ය විදේශ ප‍්‍රතිපත්තිය කෙළින් කිරීමට නොවේ. මෛත්‍රී රනිල් සම්මුතිය විනාස කිරිමටය. රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් නැතිව ආර්ථිකය ගොඩ ගැනීමට බැරිය. නැගෙන චෝදනා අනුව ගෝඨලා මහේන්ද්‍රන්ලා හිරේ ගියොත් ලංකාව විනාසය. මේ නයි පොළොගුන් මෛත්‍රීගේ රෙද්ද අස්සට වී උනුන් කාකොටා ගනිති. මිහිරි හෝ අමිහිරි හෝ අප විග‍්‍රහ කළ යුත්තේ මෙන්න මේ ටිකය.

යහපාලනය නිරක්‍ෂය වැනි එකකි. යහපාලනය පිහිටුවීම පිණිස පළමුව රට පාලනය ආරම්භ කළ යුතුවේ. අරූගේ මූගේ ගර්ජනයට තර්ජනයට බියවීම පාලනයකට උචිත නැත. නව පාලනයක අරමුණු දිනා ගැනීම නම් පළමුව තමන්ට ජනතාව දුන් බලය තහවුරු කරගත යුතුවේ. ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේනට ජනතාව දුන් බලය ඔහු තවම තහවුරු කරගෙන ඇති හැටියක් නොපෙනේ. රෝමයට ගිය එකා රෝමකාරයෙකු ලෙස හැසිරිය යුතුය. ජෝන් සෙනෙවිරත්නලා, ඩිලාන් පෙරේරලා යහපාලන ආණ්ඩුවේ ඇන මුරිච්චි වෙති. ඔවුන් තවම මහින්න්දගේ සාටක අමුඩය ගලවා නැත. සජිත් ලවා විනාස කළ නොහැකිවූ රනිල්, මෛත්‍රී ලවා විනාස කිරිමට ශිරාල් ලක්තිලක වෑයම් කරයි. වරද ඇත්තේ මෙතනය. තමන්ට අවශ්‍ය ලෙස ඉත්තන් තබා නොගෙන දාම් සෙල්ලම දිනා ගත නො හැකිය. යහ පාලන ආණ්ඩුවේ ගෙවුන අවුරුදු එක හමාරක අත්දැකීම අපට කියන්නේ ලජ්ජා හිතෙන කතාවකි.

මෛත්‍රී දාම් අදින්නවත් දන්නේ නැති හැටියකි. චරපුරුෂයන් සහ රූකඩ ඉත්තන් ඉවත් නොකර අපට යහපාලනය ඇතිකළ නොහැකිය. මේ බව මාදුළුවාවේ හාමුදුරුවන් වහස්සේ කී බව අප මෙයට පෙරද සිහිපත් කර ඇත. පාලන අසිපත මුවහත පිණිස ගලේ ඇතුල්ලූවා වැඩිය. දැන් එය ගෙවෙන්න පටන් ගෙනය.

-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment