Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කිම්-ට්‍රම්ප් සාකච්ඡා රංගනයේ පිටපත කාගෙද?


උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උං සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉං හමුවීම පසුගිය දිනවල මුළු ලෝකයේ ම අවධානයක් දිනා ගත් උණුසුම් මාතෘකාවක් බවට පත් විය. උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර තිබුණු පසමිතුරු බව අවසන් විය හැක්කේ ලෝක විනාශයක් ගෙන එන යුද්ධයකින් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි. එවැනි මත දැරූ අයට ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුවීම කිසියම් සැනසුමක් ගෙන එන්නට ඇත.

එහෙත් බටහිර රටවල් හා බටහිර ජනමාධ්‍ය මේ හමුවීම ගැන වපර ඇසින් බැලු බවටද සැකයක් නැත. උතුරු කොරියානු නායකයා කිසිසේත් විශ්වාස කළ නොහැකි ක්‍රෘර පාලකයෙකු බව බටහිර විශ්වාසයයි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිම් ජොං උං ගැන සිතන ආකාරය පිළිබඳ දරුණු උපහාසයක් ගෙන එන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එකතු වී තිබිණි. එහි දැක්වෙන්නේ උතුරු කොරියානු නායකයා දකුණු කොරියාව පැත්තට පැමිණ දකුණු කොරියානු ජනාධිපතිවරයාට අතට අත දී ඔහුව කැඳවාගෙන උතුරු කොරියාව පැත්තට පියවර තැබීමය. ඔවුන් දෙදෙනා රටවල් දෙක වෙන් කරන රේඛාවෙන් පියවර තබන විටම සැනෙකින් විවර වන බොරු වළක පියන ඇරී දකුණු කොරියානු ජනාධිපතිවරයා එම වළට ඇද වැටේ. බොරු වළේ පියන වැසෙයි, කිම් ජොං උං කිසි දෙයක් සිදු නොවුණා සේ මේ පැත්තට පැමිණෙයි. මෙය සංස්කරණය කරන ලද සිදුවීමකි. එහෙත් ඒ පිටිපස ඇත්තේ උතුරු කොරියානු ජනාධිපතිවරයා ගැන බටහිර චින්තනයයි.

දැන් ඊටත් වඩා වැදගත් තීරණාත්මක හමුවීමක් සිදුවීමට නියමිතව තිබේ. ඒ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ හමුවයි. එය ජුනි 12 වැනිදාට යෙදී ඇත. මේ දෙදෙනා පසුගිය කාලයේ ඔවුනොවුන් ගැන කළ ප්‍රකාශ වෛරයකින් පසු වු ප්‍රතිමල්ලවයන් දෙදෙනෙකුගේ වහසිබස් වැනි විය. ඔවුන් දෙදෙනාගේ හමුව පිළිබඳ තීරණයක් ගත් දවසේ පටන් බොහෝ දෙනා ද ජනමාධ්‍යයන් ද මේ හමුවීම අවලංගු කරලීමට දැරූ උත්සහයන් ද අඩුවක් නොවේ.

ඒ කෙසේ වෙතත් “බැරි බැරි ගාතේ” දෙපාර්ශ්වයම එයට සූදානම් වන බවක් ද පෙනෙන්ට තිඛෙන නිසා එවැන්නක් කෙසේ හෝ සිදුවනු ඇතැයි ද සිතන්නට පුළුවන. වඩාත් වැදගත්ම දෙය නම් මේ හමුවට දකුණු කොරියානු ජනාධිපතිවරයා ද එක්වීමයි. මෙහිදී එම සහභාගි වීම සාධාරණී කළ හැක්කේ කොරියාව එක්තරා කාලයක එක් රටක් ලෙස පැවතුණා පමණක් නොව දෙරටේම එකම ජාතියක් ජීවත් වීම නිසාවෙනි.

කෙසේ වෙතත් මෙම හමුව දෙස උකුසු ඇස් යොමු කරගෙන සිටින තවත් විශේෂිත රටවල් කීපයක් ඇති බව කිව යුතුය. මින් ප්‍රධාන තැනක් හිමි වන්නේ චීනයටය. එදා සිට අද දක්වාම චීනය උතුරු කොරියාවට ශක්තිය සපයන බලවේගයක් වීම නිසා චීනයේ විශේෂ අවධානය මෙම හමුව කෙරේ යොමු වීම සාධාරණීකරණය කළ හැකිය.

සෝවියට් රුසියාව ජපානය යන රටවල විශේෂ නිරීක්ෂණය ද මෙම හමුව කෙරේ යොමුවීම දක්නට ලැඛෙයි. මේ හැර ආසියානු රටවල පමණක් නොව සියලූ න්‍යෂ්ටික බලවතුන් මෙම හමුවේ ප්‍රතිඵල දෙස ඕනෑකමින් බලා සිටින බව ද කිව යුතුය. කිම් – ට්‍රම්ප් හමුව එක්තරා අන්දමක සිහින ජවනිකාවක් ලෙස සැලකිය හැකි සේම මෙවැන්නක් මඟින් සත්‍ය වශයෙන්ම ලෝක සාමයට වැඩක් සිදුවේද යන්න පිළිබඳව ද ඇතැම් විචාරකයන් සැක පහළ කරන බවද කිව යුතුය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක බලවතුන් දෙපළ එනම් ඇමෙරිකාවත්, රුසියාවත්, ජර්මනිය ඛෙදා ගත්තාක් මෙන් ඒ වන විට පරාජයට පත්ව සිටි ජපානය යටතේ පැවැති කොරියාව ද දෙකඩ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාව ධනවාදී පාලන ක්‍රමයක් ද උතුරේ කොමියුනිස්ට් පාලන ක්‍රමයක් ද ඇති කරනු ලැබිණි.

සීතල යුද්ධය ආරම්භ වීමත් සමඟ ඇමෙරිකාව හා රුසියාවට පක්ෂ රටවල් අතර ද නොයෙකුත් කෙනෙහිලිකම් ඇති වීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. දෙකට ඛෙදුණු ජර්මනියේ බටහිරත්, නැගෙනහිරත් අතර දේශසීමා හා වෙනත් ප්‍රශ්න ඇති වූවාක් මෙන්ම දකුණු හා උතුරු කොරියා අතර නොයෙකුත් දේශපාලන සංකූලතා ඇතිවන්නට විය.

මෙම තත්ත්වයේ උච්චම අවස්ථාවවූයේ 1950 ජුනි 25 වැනිදා 75,000ක පමණ උතුරු කොරියානු සේනාවක් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමත් සමඟය. තම ආධිපත්‍යය යටතේ පැවැති දකුණු කොරියාව බේරා ගැනීමට “ලෝක පොලිස්කාරයා” ලෙස තමන්වම හඳුනාගෙන සිටි ඇමෙරිකා එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ විය. උතුරු කොරියාවට චීනයේ හා රුසියාවේ ශක්තිය ලැබී තිබූ නිසා කොරියානු යුද්ධය වෙනත් මඟක් ගත හැකි තරමට පුළුල් විය. වරින්වර යුද්ධයේ ජය ඒ අතට මේ අතට දෝලනය වීමත් සමඟ විනාශ වන මිනිස් ජීවිත හා දේපළ ක්‍රමයෙන් ඉහළ නඟින්නට විය.

කෙසේ හෝ දෙපාර්ශ්වයේම අනු දැනීම ඇතිව 38 වැනි රේඛාව දේශසීමාව ලෙස සලකා උතුරු හා දකුණු කොරියා අතර සටන් නැවැත්වීමේ ගිවිසුමකට අවතීර්ණ වීම සිදුවිය. එහෙත් දෙපාර්ශ්වය අතර කෙනෙහිලිකම් අවසන් වූයේ නැත. කිම් ඉල් සුං හා ඔහුගේ පුත්‍ර කිම් රැල් ජොංගේ නායකත්වය යටතේ උතුරු කොරියාව ඇමෙරිකාවට පවා තර්ජනයක් විය.

ඇමෙරිකාව උතුරු කොරියාවට නිතර තර්ජනය කළ අතර, ඇමෙරිකාවට ගැති බටහිර රටවල් ද එක්කරගෙන උතුරු කොරියාවට එරෙහිව ආර්ථීක සම්බාධක පැනවීම නිසා උතුරේ පාලන තන්ත්‍රය දැඩි අපහසුවට ලක්විය. මේ තත්ත්වය වටහාගැනීමට උතුරු කොරියානු නායකත්වයට හැකි වුවත්, ඇමෙරිකානු “පොලිස්කාරයාට” හිස නැමීම කිසිසේත් කළ නොහැකි බව දැක්වූවේය.

මෙසේ තිබියදී දකුණු කොරියාවේ සුරක්ෂිතභාවය සුරැකීම ඇමෙරිකාවේ වගකීමක් විය. එම රටේ ඇමෙරිකන් හමුදා නවත්වා තැබීමත් ඉඳහිට දකුණු කොරියන් හා ඇමෙරිකන් යුද අභ්‍යාස සිදු කිරීමත් උතුරු කොරියාවට මහත් හිසරදයක් විය. එසේම උතුරු කොරියාවේ සුරක්ෂිතභාවයේ වගකීම භාරගෙන සිටින චීනයටත්, රුසියාවටත් එම හිසරදය වැළඳීම නිසා කොරියානු අර්ධද්වීපය තුළ යම් අභියෝගාත්මක වාතාවරණයක් ඇති වී තිබිම ද කාගේත් අවධානයට යොමු වූ කරුණක් විය.උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි නිපදවීම මෙන්ම ඇමෙරිකාවට පවා ඒවා තර්ජනයක් වීම නිසා ඇමෙරිකාවේ ඉවසීමේ සීමාව රතු කට්ට අසලටම පැමිණියේ මෙවැනි උණුසුම් පසුබිමක් පැවැති අවදියකදීය.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වූයේ “ප්‍රථමයෙන් ඇමෙරිකාව” යන ස්ථාවරය ඉදිරිපත් කරමිනි. අනෙක් රටවල කටයුතු කෙරේ ඇඟිලි ගැසීමට යොමුව සිටි “ලෝක පොලිස්කාර” කම නිසා මහත් සේ කරදර හිරිහැර රැසකට මුහුණපා සිටි ඇමෙරිකන් ජනතාව ට්‍රම්ප්ගේ සටන් පාඨයට තම කැමැත්ත ප්‍රකාශ කළේ වෙනසක් බලාපොරොත්තුවෙනි.

ට්‍රම්ප්ගේ පාලන ක්‍රමවේදයේ වෙනසක් දක්නට ලැබිණ. සිරියාවේ ඇතිව තිබූ ප්‍රශ්නකාරී තත්ත්වයෙන් මිදී එරටින් පලා යන ජනතාවට ඇමෙරිකාවේ නවාතැන් දීම ට්‍රම්ප් විසින් වහාම නවත්වන ලදී. එසේම මැක්සිකෝවෙන් ඇමෙරිකාවට සිදුවන අනර්ථකාරී ප්‍රතිඵල වලක්වා ගනු සඳහා තාප්පයක් සෑදීම කෙරේද ඔහුගේ අවධානය යොමුවිය.

ඇමෙරිකන් විදේශ ප්‍රතිපත්තියේ එනම් “ලෝක පොලිස්කාරයා” ලෙස කටයුතු කිරීම අත්හිටුවීමට ගත් පියවරේ එක් ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව සමඟ සාම කතා ඇරැඹීම පෙන්විය නොහැකිද?

එසේම ඇමෙරිකාව කෙරේ දැඩි මතධාරී පිළිවෙත තම සීයා සහ පියා විසින් අනුගමනය කර තිබියදී කිම් ජොං උං එම ක්‍රියා පිළිවෙත මදකට ලිහිල් කරන ලද්දේ කුමක් නිසා ද යන්න විදේශ කටයුතු පිළිබඳ විචාරකයන්ගේ කුකුසට හේතු වී ඇත. මෙහිදී අවශ්‍යයෙන්ම චීනය කිසිසේත් අමතක කළ නොහැකිය. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත විශේෂඥ මණ්ඩලයක් (Think Tank) වන ලෝවි ආයතනය මඟින් මෑතකදී නිකුත් කරන ලද ආසියානු බල දර්ශකයට අනුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් 25 අතරේ වැඩිම බලපෑමක් සිදුකරනු ලබන රට ලෙස ඇමෙරිකාව මුල්තැන ගනු ලබන අතර වැඩිකල් නොගොසින් එනම් ඊළඟ දශකය වන විට චීනය එම ස්ථානයට පත්වනු ඇත.

එබැවින් කිම් – ට්‍රම්ප් හමුවේ සාර්ථක අසාර්ථකභාවය දෙස චීනයේ විශේෂ අවධානය යොමුවනු නොඅනුමානය. උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතකු වීම නිසා මෙම කලාපයේ බලවත් රටකි. ඇමෙරිකාවේ ප්‍රධාන අරමුණ වන එම න්‍යෂ්ටික අවිහරණය සාර්ථක වීම චීනයට යම් අභියෝගයක් වනු ඇත. එබැවින් කිම් – ට්‍රම්ප් හමුව චීනයේ සැලැස්මට අනුව අවශ්‍යයෙන්ම සිදුවිය හැක. කිම් ජොන් උං රහසේම චීනයට යෑම එම කරුණ අවධාරණය වන සිදුවීමක් ලෙස දැක්විය හැකිය.

චීනය ඈත අතීතයේ පටන් උතුරු කොරියාවේ ගෝඩ් ෆාදර් ලෙස කටයුතු කළ බව මෙහිදී අමතක කළ නොහැක. විශේෂයෙන්ම කොරියානු යුද්ධයේදී චීනයේ යුද ශක්තිය උතුරු කොරියානුවන්ට මහත් ආධාරයක් වූ බව කිව යුතුය. එසේම වර්තමාන චීනය අතිධාවනකාරී ආර්ථීක ප්‍රගතියක් ලබා තිබීමට හේතුව ඔවුන් අනුගමනය කරනු ලබන පාලන ක්‍රියා පිළිවෙතය. එනම් කොමියුනිස්ට් පාලනයක් යටතේ සිදුකරනු ලබන ධනවාදී ගමනයි.

කෙසේ වුවත් යම් හෙයකින් උතුරු කොරියාව ඇමරිකන් ධනවාදී පන්නයේ ක්‍රියා පිළිවෙතකට යොමු වුවහොත් එය පෙර පැවැති ආක්‍රමණශීලි ප්‍රවේශයෙන් වෙනස්ව නව මං ඔස්සේ ධනය උපයන චීනයේ ගමනට බාධාවක් වනු ඇත. එවැනි අදහසක් චීනයට පමණක් නොව ඇමරිකාවටද ඇති බව පෙනේ. ඇමරිකාව, උතුරු කොරියාව යොමු කරන්නේ ඒ මාර්ගයටද යන ප්‍රශ්නය ද දැන් ලෝකයේ හමුවේ තිබේ.
එක් වරක් කල් දැමුණු උතුරු කොරියාව ඇමරිකන් නායක හමුව මේ මස 12 දා පැවැත්වෙන බව පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට තහවුරු වී තිබිණ.

මේ අතර කිම් – ට්‍රම්ප් හමුව ගැන චීනය, ජපානය දකුණු කොරියාව පමණක් නොව සෝවියට් රුසියාව ද උනන්දුවක් දක්වන බව පෙනේ. රුසියාවේ විදේශ ඇමැති සර්ජි ලැව්රොව්, කිම් ජොන් උං හමු වී, හැකි ඉක්මනින් රුසියාවට එන ලෙස ඇරයුම් කිරීම ඒ බව සනාථ කරන්නකි.

(රෝහණ ආරියරත්න)



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP