Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වස විස නැති ගොවිතැන් රැල්ල කූඨ වෙළෙඳන්ට හොඳ ඉල්ලමක්.


ඇතැම් තක්කඩි ගොවීන් සහ කපටි වෙළෙන්දන්ගේ භාවිතාවේ හැටියට, “කාබනික” හෙවත් “ඕගනික් සහල්” යනු “සිරා බිස්නස්” එකකි. කාබනික විදිහට හෙවත් “වස-විස නැතිව” වගා කළ දේශීය පාරම්පරික සහල් වර්ග සඳහා වෙළෙඳපොළේ හොඳ ඉල්ලූමක් තිබීම, ඊට හේතුවයි. ඔවුන්ට වඩාත් වාසි ගෙන දෙන කාරණයවී ඇත්තේ, මොන යම් හෝ “හාලක්” සත්‍ය වශයෙන් ම කාබනික ක්‍රමයට වගා කළ ඒවා දැයි පිරික්සා බලන්නට ක්‍රමයක් හෝ වැඩ පිළිවෙලක් රටට නැතිකමයි!

දේශීය පාරම්පරික වී වර්ග, කෙම් පහන් ඇතිව, වස විස හෙවත් කෘත්‍රිම කෘෂි රසායන වර්ග නො දමා, හරියට ආගමක් අදහන්නාක් මෙන් ගොවිතැන් කරන විශාල පිරිසක් අපේ රටේ සිටිති. ඒ අතර වංචනිකව “ව්‍යාජ කාබනික සහල වෙළෙඳපොළට එවන කපටි සහ තක්කඩි ගොවීන් මෙන්ම, කූට වෙළෙන්දන් ද එමටය. ඔවුන්ගේ ක්‍රියාවලිය හමුවේ, හැබෑවට ම වස-විස නො දමා, දේශීය සහල් නිපදවන ගොවීන් පරාජය වෙමින් සිටින බව දැන් දැන් දකින්නට ලැබේ.

“වස-විස” නැතිව ගොවිතැන් කිරීමේ වැඩ පිළිවෙල දැන් කර ගසා ගෙන යන්නේ “යහපාලන ආණ්ඩුවයි”. ඔවුන් එය ක්‍රියාත්මක කරමින් සිටින්නේ, “ධාර්මික ගොවිතැනක්- නිරෝගී ජනතාවක්, වස-විස නැති රටක්” යන තේමාව යටතේ ය. එය මහා ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන්න ද, වස-විස නැති දේශීය සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි “ප්‍රමිතිකරණ වැඩ පිළිවෙලක්” ස්ථාපිත කිරීමට ඔවුන් තවමත් සමත්වී නැත. එයින්, තක්කඩි ගොවීන් සහ කපටි වෙළෙන්දන්ට හිස ඔසවන්නට අවකාශ ලැබී තිබේ.

“යහපාලන ආණ්ඩුවේ” අය මුල පටන් ම පැවසුවේ, වස-විස නො දමා ගොවිතැන්කර නිපදවූ දේශීය පාරම්පරික සහල් සඳහා ද, අනෙකුත් ආහාර භෝග වර්ග සඳහා ද ප්‍රමිති සකස් කරන බවයි. එසේ වුවත් ප්‍රායෝගික තලයේ දී තවමත් එබඳු කිසිදු ප්‍රමිතිකරණයක් හමු නොවේ. යම් ආහාර ද්‍රව්‍යයක් “ඇත්තටම කාබනික දැයි” පිරික්සා සහතික කරන ආයතනයක් ගැන තවම අසන්නටවත් නැත්තේ ය. මෙම තත්ත්වය වංචනිකයන්ට “මාර පල්ලමකි”.

දේශීය පාරම්පරික සහල් අතර ඉහළම මිලක් වැටෙන්නේ “සුවඳැල්” සහලට ය. වර්තමාන විවෘත වෙළෙඳපොළේ සුවඳැල් සහල් කිලෝවක් විකිණෙන්නේ රුපිය 250න් එහා ගිය මිලකට ය. වැඩි මිලක් ද ගෙවා මේවා මිල දී ගන්නා අයට, පැකට්ටු ලේබලයේ එන නිෂ්පාදකයාගේ සඳහන විශ්වාස කරනවා මිස, එහි සැබෑ තත්ත්වය දැන ගැනීමට ක්‍රමයක් නැත. අසුරනයේ තිඛෙන්නේ ඇත්තට ම සුවඳැල් සහල් ද? යන්න සහ එය ඇත්තට ම කාබනික නිෂ්පාදනයක් ද? යන්න ගැන දැන ගැනීමටනිසි ක්‍රමවේදයක් නැත. ලංකාවේ දේශීය පාරම්පරික වී ගොවිතැන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මහත් ප්‍රසිද්ධියක් ඉසිලු ගොවි ක්‍රියාකාරිකයෙක්, වරක් “රන් කහවණු” කියා වෙනත් වර්ගයක බිත්තර වී විශාල පිරිසකට ඛෙදා දුන්නේ ය. “රන් කහවණු” සහලේ බත, මාරාන්තික වකුගඩු රෝගයට ඛෙහෙවින් ගුණදායක යයි අදහසක් රජරට ප්‍රදේශයේ පවතියි. එයින් “රන් කහවණු” සඳහා පවතින්නේ ඉහළ ඉල්ලූමකි. එහෙත් “රන් කහවණු” යයි සිතා ඊට සමාන වෙනත් සහලක බතක් වැළඳීමෙන් එබඳු ගුණයක් ලැඛෙතියි සිතීම උගහට ය! “රන් තැඹිලි ඇල්” යයි කියමින් අලෙවි කෙරෙන බොහොමයක් වී හෝ සහල් නියම “රන් තැඹිලි ඇල්” නොවේ යයි, තතු දන්නා ගොවියෝ පවසති!

සුවඳැල් සහල්වලට “කීරි සම්බා” හෝ වෙනත් සුදු සම්බා වර්ග කලවම් කිරිම සුලභව දක්නට ලැඛෙන වංචාවකි. වර්ණයෙන් සහ හැඩයෙන් ටිකක් සමාන නිසා වැඩි දෙනෙකුට එබඳු සහල් හඳුනා ගැනීමට අසීරු ය. ආණ්ඩුව වී සහ අනෙකුත් ආහාර භෝග බහුලව වගා කරන ප්‍රදේශවල වාණිජ පදනමින් කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වූයේ ද නැත. දේශීය වී වගා කරන ගොවීන්ට, කාබනික පොහොර ඇති තරම් මිලයට ගන්නට තිබුණේ ද නැත. වඩාත් බරපතලම කාරණය වන්නේ, “යූරියා” ඇතුළු කෘත්‍රිම රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක ආදි වස-විස ඇති පදම් භාවිතකර නිපදවූ දේශීය පාරම්පරික සහල් වර්ග ද “ඕගනික්” යයි කියා වෙළෙඳපොළට එවීම ය!

අතීතයේ දී ලංකාවේ මිනිසුන් ආහාරයට ගත්තේ, දේශීය පාරම්පරික වී වර්ගවල සහලේ බත ය. ඔවුන් ඒවා වගා කළේ ද කිසිදු කෘත්‍රිම කෘෂි රසායනික භාවිතාවක් නැතිව ය. ඒවා ඖෂධීය ගුණයෙන් ද පිරිපුන් නිසා එකල විසූවන්ට අද තරම් ලෙඩ රෝග (බෝ නො වන රෝග) හැදුණේ ද නැත. අපේ පාරම්පරික වී ගොවිතැන උඩු යටිකුරු වූයේ, වර්ෂ 1960 සිට ලෝකයේ ක්‍රියාත්මක වුණු “හරිත විප්ලවයත්” සමගිනි. එහි රස්නය ලංකාවට ද ආවේ ය. ඉන් පසුව නව වැඩි දියුණු කළ දෙමුහුන් වී වර්ග බිහි කෙරිණි. ඒවා වගා කරන්නට කෘත්‍රිම පොහොර වර්ග, කෘත්‍රිම වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක වර්ග ආදිය අවශ්‍ය විය. එකල ඒවා යහමින් භාවිතාවට ගොවීන් පොළඹවන ලදී. හරිත විප්ලවකරුවන් හඳුන්වා දුන් අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ද ලැබිණි. ඒ අතර ම හරිත විප්ලවකාරයෝ, “දේශීය පාරම්පරික වී වර්ගවල අස්වනු අඩුයි” යනුවෙන් මිථ්‍යාවක් ද පැතිර වූහ. එයින් වස- විස රහිතව කෙරුණු ලාංකේය පාරම්පරික වී ගොවිතැන අභාවයට ගියේ ය. රටවැසියෝ ද රසායනික ගොවිතැනෙන් නිපැයුණු සහලින් පිසු බත වළඳන්නට පුරුදු වූහ. එයින් දේශීය පාරම්පරික වී වර්ග ද, පැරැණි වගා ක්‍රම ද නැත්තට ම නැතිවී ගියේ ය. කෙසේ වෙතත් ඈත ගම්වල සමහර ගොවීහූ, නවීන වී ගොවිතැනට කැමති නො වූහ. ඔවුහු පාරම්පරික වී වර්ග ගොවිතැන් කිරීම අත් නො හැරියහ. මේ ගැන උනන්දුවක් දැක්වූ උදවිය පැරැණි වී වර්ග එකතු කරමින්, පාරම්පරික වගා ක්‍රම පිළිවෙත් හදාරමින් දේශීීය පාරම්පරික වී ගොවිතැනට යළි පණ පිඹින්නට වෙර දැරූහ. බිත්තර වී ඛෙදා දෙමින් ගොවීන් දිරිමත් කළහ. පසුකාලීනව, වස විසට අකමැති පරිසර සහ සමාජ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් ද ඔවුන් ගිය මග ගියහ.

සමාජය මතුපිටින් නො පෙණුන ද, 2000 දශකයේ අග භාගය එළඹෙන විට වස-විස රහිතව දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ රැල්ලක් රට තුළ ඇති විය.

“නිරෝගිමත් දිවියකට වස-විස නැති ආහාර වැළඳිය යුතු ය” යන අදහස ද මහජනයා අතර ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ය. රජරට පළාතෙන් ඇරඹුණු මාරාන්තික වකුගඩු රෝගයේ භීතිය ද, ඊට යම් හේතුවක් වූයේ ය. පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද වස-විස රහිතව දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ කටයුත්තට උදව් දුන්නේ ය.

වස-විස නැති දේශීය කෘෂි නිෂ්පාදන, සමාජය ඉස්මත්තට ගෙන ආවේ යහපාලන ආණ්ඩුව යටතේ ය. එය ඔවුන්ගේ “දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක්” බව දැන් පෙනෙන්නට තිබේ. වස-විස නැති දේශීය පාරම්පරික වී නිපැයුම් ක්‍රියාවලියේ මතුව ඇති විවිධ ගැටලූ සඳහා, විසඳුම් දෙන්නට ආණ්ඩුවේ අය උනන්දු නො වීමෙන් ඒ බැව් තහවුරු වේ.

ඉකුත් දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ, වස-විස නැතිව නිපදවූ දේශීය පාරම්පරික වර්ගවලට අයත්, වී කිලෝග්‍රෑම් පන් ලක්ෂයක් පමණ අලෙවිකර ගන්නට නො හැකිව ගොඩගැසී තිඛෙන බවයි! දියවැඩියා රෝගය පාලනය කිරීමේ ගුණ ඇති බව පර්යේෂණ මගින් හෙළිදරව් වූ සුදු හීනැටි සහ සුදු සුවඳැල් මෙන් ම, රත්දැල්, කුරුලූතුඩ, පච්චපෙරුමාල් යන වර්ගවල තොග පවා, අලෙවිකර ගන්නට නො හැකිව තිඛෙන වී තොග අතර තිබේ! ආණ්ඩුවේ අයට දැනුම් දුන්න ද, (මෙම සටහන ලියන ජුනි 17 වැනි දා වන විටත්) ඒවා අලෙවිකර ගැනීමට තවම ක්‍රමයක් සැකසුණේ නැති බව ප්‍රකට ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා පැවසී ය.

පොළොන්නරුවේ, හතමුණ ඛෙදුම් ඇළ ගොවි සංවිධානයේ උප සභාපති එල්. ආර්. රාජපක්ෂ මහතා පැවසුවේ තමන් සතුව ඇති අලෙවිකර ගන්නට නො හැකි වී තොගය කිලෝ ග්‍රෑම් 10,000ක් පමණ වන බවයි. ඒ අතර “සුදු හීනැටි” වී ප්‍රමාණය කිලෝ 6500ක් පමණ වේ. පොළොන්නරුව, කුසුම්පොකුණේ එන්. ධර්මරත්න මහතා සතුව ඇති “සුදු හීනැටි” වී ප්‍රමාණය ද කිලෝ 1000 ඉක්මවයි!

ගොවීන් අතර සෙමින් සෙමින් ව්‍යාප්ත වෙමින් පැවති වස විස නැති දේශීය පාරම්පරික වී ගොවිතැන, “යහපාලන ආණ්ඩුවේ” අය එක්වර ම මහා පරිමාණ ප්‍රචාරක ඝෝෂාවකට නතු කළහ! එයින් රටවැසියන් අතර වස විස නැති ආහාර පිළිබඳ “රැල්ලක්” නිර්මාණය කෙරිණි. “රැල්ල” ඔස්සේ මහජනයා අතර වස විසෙන් තොරව නිපදවූ සහල් ඇතුළු දේශීය ආහාර ගැන විශාල උනන්දුවක් ඇති විය. කෙසේ වෙතත් වස විස නැති ගොවිතැන පිළිබඳ “රැල්ල” “දේශපාලන මුක්කුවක්” ලෙස භාවිතා කළා මිස එය රටට හිතැති අර්ථවත් මානයකට ගෙන යන්නට ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් පෙනී යයි! ආණ්ඩුව සිය “වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල”, ඔවුන්ගේ “ප්‍රමුඛ වැඩ විෂයක්” බවට පත් කළේ නැත. ඒ වෙනුවට එය පැවරුණේ ජනාධිපතිවරයා යටතේ පාලනය වන “සෙමා ආයතනයට” ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදත් වස විස නැති ගොවිතැනේ “සපෝට්කාරයා” මිස, “අයිතිකාරයා” හෝ “ප්‍රධාන මෙහෙයවන්නා” නොවේ! වස-විස නැති දේශීය පාරම්පරික සහල් රට පුරා අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ද සැකසුණේ නැත! කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩි දෙනෙක් අදත් හිස් මුදුනින් කටයුතු කරන්නේ “රසායනික ගොවිතැන” ඔසවා තැබීමට ය! ඔවුන් රසායනික නො වන ගොවිතැනකට කැමති ම නැත.

“අපේ කාර්යභාරය රසායනික පොහොර භාවිතාවෙන් අස්වනු වැඩිකර ගැනීමයි. එය කාබනික පොහොර මගින් හෝ දේශීය වී වලින් කරන්න බෑ” යන්න, ඔවුන් නිතර පවසන මතවාදයයි. එය බොරුවක් බව හෙළිවී දැන් බොහෝ කල් ය! ආණ්ඩුව මුලින් ම කළ යුතුව තිබුණේ දීර්ඝ කාලයක් රසායනික ගොවිතැනේ අනුසස් පිළිපදින කෘෂිකර්ම නිලධාරීන්ගේ “හිස් සෝදා, නහවා”, ඔවුන් වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙලට බද්ධකර ගැනීම ය. එවැන්නක් සිදුවූ බවක් ද පෙනෙන්නට නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, වස- විස නැති ගොවිතැනේ වැඩට සහය වන්නේ ද නිකම් “ඇපෙන් ගැලවෙන්න” වාගේ බව ගොවීහු කියති.

ආණ්ඩුවේ වස-විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල යටතේ, දේශීය පාරම්පරික වී වර්ගවල බිත්තර වී මහා පරිමාණයෙන් නිපදවීමේ ක්‍රියාවලියක් බිහි වූයේ නැත. වගාවට අවශ්‍ය කාබනික පොහොර නිපදවීමේ මහා පරිමාණ ව්‍යාපාර ඇරඹුණේ නැත. ප්‍රාදේශීය මට්ටමින් කාබනික පොහොර නිපැයුම්කරුවන් බිහිවන්නට සැලැස්වූයේ ද නැත.දේශීය පාරම්පරික වී ගොවිතැන පිළිබඳ “ජන දැනුම” ලේඛනගත කිරීමේ වැඩ

පිළිවෙලක් ඇති වූයේ ද නැත. ගම් මට්ටමේ කෘෂි නිලධාරීන් පුහුණු කිරීමක් ද නො වීය. දේශීය පාරම්පරික වී ගොවිතැනේ කන්න රටාවට අනුරූප වන ආකාරයට, වාරි ජලය නිකුත් කිරීමේ කාලසටහන් සැකසුණේ ද නැත. දේශීය පාරම්පරික වී ගොවිතැනේ සහල්වල ගුණ සම්බන්ධයෙන් විශාලතම පර්යේෂණය කළේ කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයයි. එයින් වැඩක් ගන්නට ද ආණ්ඩුවට මතක් වූයේ නැත.

ආරංචියේ හැටියට, වස විස නැති සහල් ඇතුළු කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ප්‍රමිති හඳුන්වා දීම ඉක්මණින් කරන්නට ආණ්ඩුව සූදානම්ව සිටියි. එය ද බාලගිරි දෝෂය වාගේ ය. වැඩේ කෙරෙන දින-වකවානු ඉස්සරහටය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment