Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දගේ ගෝලයා වූ මෛත්‍රී...


මාකඳුරේ මධුෂ් සතියේ ජනප්‍රිය ම චරිතයයි. වසර ගණනාවක් සැඟ වී සිටි ඔහු පසුගිය 05 වැනිදා ඩුබායි හි දී අල්ලා ගත්තේ ය. අල්ලා ගත්තේ කවුරුන් ද යන්න හරි පැහැදිලි ය. ඒ ඩුබායි පොලිසියයි. එරට පොලිසියට ඔත්තුව දුන්නේ, ශ්‍රී ලංකාවේ එස්.ටී.එෆ්. එක යැයි මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, එය ඇත්තක් ද යන්න ප‍්‍රශ්නයකි. ඩුබායි ආරංචිමාර්ග කියන විදියට මෙහෙයුම සිදුකර ඇත්තේ, එරට පොලිසියයි. මෙහෙයුම සඳහා සියලු තොරතුරු ලබාගෙන ඇත්තේ ද එහි බුද්ධි අංශයෙනි. එය කෙසේ සිදු වුවත්, මධුෂ් ඇතුළු කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් ඇල්ලීම රටට යහපතකි. ප‍්‍රශ්නය වන්නේ එය නොවේ. මධුෂ්ව මෙච්චර කාලයක් ආරක්‍ෂා කළ ලංකාවේ පොලිසිය, ඉහළ නිලධාරීන් හා ප‍්‍රබල දේශපාලනඥයන් කවුරුන් ද යන්නයි. මධුෂ්ට ලංකාවෙන් පිට වන්නට උදවු කළ අය කවුරුන් ද යන්නයි. ඔහුගේ කුඩු සල්ලිවලින් දේශපාලනය කළවුන් කවුරුන් ද යන්නත්, ඒ සල්ලිවලින් ම ව්‍යාපාර කළේ කවුරුන් ද යන්නත් ය.

මේ වෙන කොට ඒ හැමෝ ම භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වාගේ දඟලන්නට පටන් අරගෙන ය. මේ පුද්ගලයන් අතුරින් වැඩිපුර ම කියැවෙන දේශපාලනඥයන් දෙදෙනා ම මාතර දිස්ත්‍රික්කයේ ය. ඉන් එක් අයෙක් වන්නේ, හිටපු මුදල් රාජ්‍ය ඇමති, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ය. ඔහුගේ සහ ඔහුගේ පුතාගේ නම මධුෂ් සමඟ සම්බන්ධතා තිබුණේ ය යන්න අද වන කොට ප‍්‍රසිද්ධ රහසක් වී ඇත. දේශපාලන ලෝකයෙහි එය හැම තැන ම කතාබහට ලක්වෙමින් ඇත. ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත් වූ ලක්‍ෂ්මන්ගේ පුතා පසඳ යාපගේ විවාහ මංගල්‍යයට වියදම් කර ඇත්තේ, මධුෂ් බවට කටකතා පැතිරේ. මධුෂ් අහු වෙන්නටත් කලින් මේ කතාබහ ඇති වී තිබිණි. ඒත් එක්ක ම මධුෂ්ව කටුනායක ගුවන්තොටුපළෙන් පිටත් කර යවන්නේ ද ඔවුන්ගේ උදව්වෙන් බව ආරංචි වේ. මේවායේ සත්‍යාසත්‍යතාවය කුමක් ද යන්න සොයාබලා රටට හෙළි කිරීම බලධාරීන්ගේ වගකීම බව නම් පැහැදිලි ය. එබැවින්, මේ ගැන පරීක්‍ෂා කිරීමට ජනතාව බල කළ යුතු වේ. මොවුන් ගැන යන්තමින් හෝ කියපු නලින් බණ්ඩාරට විරුද්ධව කෝටි ගාණක් වන්දි ඉල්ලා නඩු දාන්න යන්නේ රහස් එළිවීම හා ප‍්‍රචාරය වීම කල් ඇතිව වළක්වා ගන්නට ය.

ඊ ළඟට කියැවෙන්නේ, නිරෝෂන් ප්‍රේමරත්නගේ නම ය. ස්වාධීන රූපවාහිනියේ ‘රිදම් චැට්’ එකෙන් එකවර දේශපාලනයට ආ ඔහු හෝකන්දර මහා සුපිරි ගොඩනැඟිල්ලක අයිතිකරුවකු වී ඇත. කෙටි කලකින් මෙතරම් විශාල ව්‍යාපාරිකයකු වූයේ කෙසේ ද යන්න කතාබහට ලක් වී ඇත. ඔහුගේ හා මධුෂ්ගේ සම්බන්ධය කියන්නත් කලින් ඔහු ඉක්මන් වුණේ ය. දවස් දෙක තුනකින් පාර්ලිමේන්තුවේ කතාවක් ද පැවැත්වූයේ ය. වෙන වෙන වල්පල් පටලවා ගත්ත ගොඩක් දේවල් කිව්වේ ය. එහෙත්, මධෙුෂ් එක්ක සම්බන්ධයක් තිබේ ද නැද්ද යන්න හරියට කිව්වේ නැත. තමන්ගේ ගමේ ගෙදර ඉඳලා මීටර් තුන්සියයක් දුරින් හිටපු මධුෂ්ව දන්නේ නැහැ කියලා නාළිකාවකට කිව්වේ ය. ඒකෙන් ම බොරුව අසු වන්නේ ය. මධුෂ්ගේ තාත්තාගේ මළගෙදරට ගිය නිරෝෂන් මධුෂ්ව දන්නේ නැහැ යැයි කීම පට්ටපල් බොරුවක් ය. තමාට චෝදනා එන්න ඉස්සර වෙලා කරුණු දැක්වීමෙන් ගැලවීමේ උපක‍්‍රමය ඔහු පාවිච්චි කළේ ය. එහෙත්, එය හත්පොළේ ගාගෙන වැඩේ මාට්ටු වෙන එකක් වූයේ ය. මේ උපක‍්‍රමය වීරවංශගේ ය. එදා ජ.වි.පෙ.න් ඉවත් කරපු වීරවංශ කළෙත්  ඕක ම ය. පක්‍ෂයෙන් ඔහුගේ චෝදනා කියන්නට කලින් ඔහු ඉස්සර වුණේ ය. නිරෝෂන්ට මේ දේ කියන්නට ඇත්තේ ද වීරවංශ ය. එහෙත්, ඒකෙන් නිරෝෂන් අනා ගත්තේ ය. මහා ලොකු දේශප්‍රේමී කතා කියන කණ්ඩායම පහුගිය කාලය පුරාවට ම කර ඇත්තේ, මුළු මහත් ජාතියක් විනාශ කරන කුඩු ජාවාරමුන්ට උදවු කිරීම ය. ඔවුනට අනුබලය හා ආරක්‍ෂාව දීම ය.

කුඩු ජාවාරමත්, ඒ හා බැඳුණු පාතාලයත් කොතරම් මේ සමාජය විනාශ කරන්නේ ද යන්න මධුෂ් අල්ලා ගැනීමෙන් ඔප්පු විය. අහු වෙච්ච අය අතරේ පොලිසියේ අය, බන්ධනාගාරයේ අය, රාජ්‍ය තාන්ත්‍රිකයෝ, කලාකරුවෝ යන මේ හැමෝ ම සිටියහ. ඒ තරමට ම කුඩු හා බැඳුණු සමාජ පරිහානිය දරුණු ය; ප‍්‍රබල ය. නීතිය රකින්නෝ, නීති හදන්නෝ, දඬුවම් දෙන්නෝ, කලාවෙන් මිනිස් ආධ්‍යාත්මය වෙනස් කරන්නෝ යන සියලු දෙනා මෙහි ගොදුරු බවට පත් වී ඇත. මේ සියලු ආයතන හා පුද්ගලයන් ගොදුරු බවට පත් වූ සමාජය රකින්නට කෙනකු ඉතිරි වන්නේ නැත. සියල්ල විනාශ වී යනු ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු නිදහස් කර ගන්නට මැදිහත් වී තිබිණි. එහි දී ඔහුට ඉන් සිදු වන සමාජ හානිය වැදගත් නොවිණි. ඔහුට වැදගත් වුණේ, ඉන් ලැබෙන අසීමිත නීතිඥ ගාස්තුව ය. උදුල් ප්‍රේමරත්න වාගේ අය මේ වෙනුවෙන් මැදිහත් වන්නේ ජනප්‍රිය වන්නට ය. ජනප්‍රියත්වය පොරක් බවට පෙරළා ගන්නට ය. තමන්ගේ නම ප‍්‍රසිද්ධ කර ගන්නට ය. රටේ නමගිය නීතිඥයන්ගේ සිට යාන්තම් නීති අත් පොත අත තියන්නන් බොහෝ දෙනෙක් කුඩු ජාවාරම රකින්නන් බවට පත් වී ඇත. මෙවැනි පසුබිමක් තුළ නීතිඥයන් පමණක් නොව සමහර විනිශ්චයකරුවන් ද මොවුනට රැකවරණය ලබා දී ඇත. දැනටමත් අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවරයකුගේ නම මෙවැන්නකට හවුල් වුණු බවට සත්‍ය සිදුවීම් වාර්තා විය. මීගමුව මහාධිකරණයේ සිටින විට ප‍්‍රබල කුඩුකාරයකුට ඇප දෙන්නට නියම කළේ ය. එයට අත්සන් ද තැබුවේ ය. දින දෙක තුනකට පසුව හිටිගමන් අභියාචනාධිකරණයේ විනිසුරුකමකට නම යෝජනා විය. ඒත් එක්ක ම තමන්ට එය ලැබීමට නුසුදුසුකමක් ලෙස මේ අත්සන් කිරීම හේතුවක් වේ යැයි කලබල විය. නැවත මීගමුවට ගොස් ඇප අත්සන් කිරීම අවලංගු කළේ ය. ඒ විනිසුරුවරයා දැනටත් අභියාචනාධිකරණයේ කටයුතු කරයි. ඒ ජාතියේ අය විවිධ තැන්වල විවිධ පුටුවල ඉන්නා බව දන්නෝ දනිති. නීතිඥයන් අය කරන විශාල ගාස්තුවෙන් පංගුවක් නඩුකාරයන්ට දී නිදහස් කර ගන්නා කුඩු ජාවාරම්කාරයන් ගොඩක් සිටිති. සමහර අයගේ චෝදනා ළිහිල් කරවීම ද සිදු වන්නේ මෙවැනි දූෂිත ක්‍රියාමාර්ගවලිනි. රන්ජන් රාමනායක සමස්ත නඩුකාරවරුන් ම එතැනට දැමීම වරදකි. සියලු දෙනා එසේ නොවෙති. පොට්ට නවුෆර් මරා දැම්මේ, එහෙ ම නොවුණු නඩුකාරයෙකි. එවැනි අය බොහෝ සිටිති. ඒත් ඒ අයට ගෞරව නම්බුනාම නොලැබෙති. කුඩු සල්ලිවලින් හෝ දේශපාලනඥයන් අල්ලා ගන්නා අයට තනතුරු ලැබෙති. දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් ඉටු කරන නඩුකාරයන්ට උසස් වීම් ලැබිණි. ඒ ඉතිහාසය නීති ක්ෂේත්‍රයේ හැමෝ ම දන්නා දෙයකි. ජනාධිපතිට, අගමැතිට වැඩියෙන් ම කෙඩ් ගිය අයට, ඒ අයට වාසි විදියට තීන්දු දීපු අයට උසස් වීම් ලැබුණු අමිහිරි අත්දැකීම්  ඕනෑතරම් ඇත. ඒ නිසා ම අධිකරණ පද්ධතිය පසුගිය කාලය පුරාවට දූෂිත පද්ධතියක් බවට පත් විය. එහි ඉහළ ම පුටුවට වාඩි කළ කෙනාගේ වැරදි, නරක ආදර්ශයන් එක්ව සියල්ල කෙලෙසී ගියේ ය.

කනගාටුවට කරුණ නම්, මේ කුඩුකාරයකුට ඇප දීපු අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කරන ලෙස මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ම යෝජනා කිරීම ය. මේ සිද්ධිය පමණක් නොව සාමාන්‍යයෙන් අධිකරණය තුළ ඔහු ප‍්‍රසිද්ධ වී ඇත්තේ, ‘රුපියල් සියයක් දුන්නත්, වැඩක් කර ගන්න පුළුවන් කෙනෙක්’ කියා ය. එහෙව් පුද්ගලයකු අභියාචනාධිකරණයට පත්කළේ මහින්ද රාජපක්‍ෂ ය. ඒ ඔහු සමඟ තිබූ දේශපාලන හිතවත්කම උඩ ය. නිමල් ලංසා වාගේ අයගේ සහතිකයන් උඩ ය. ඒ වාගේ ම වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ඉල්ලීම් ඉටුකිරීම වෙනුවෙන් ය. මහින්ද කරපු වැරදි නිවැරදි කරනවා යැයි කියපු මෛත්‍රීපාල ඒ වැරැද්ද ම කළේ ය. එය වැළැකුණේ ව්‍යවස්ථා සභාව එය අනුමත නොකිරීමෙන් ය. විනිසුරුවරුන්ගේ උසස් වීම් රාශියක් ව්‍යවස්ථා සභාවෙන් වැළැක්වූවා යැයි කෑමොර දෙන විජේදාස රාජපක්‍ෂ මේ ගැන හොඳින් දන්නේ ය. එදා මේ නම එවන තත්ත්වයට මෛත්‍රීපාල පත් වීම පිළිබඳව ඔහු ද විශ්මයට පත් වුණේ ය. ඒ සියල්ල දන්නා විජේදාස රාජපක්‍ෂ අද හැසිරෙන්නේ සම්පූර්ණයෙන් ම දේශපාලන අවස්ථාවාදියකු ලෙසින් ය. පසුගිය අවුරුදු තුනක කාලය තුළ විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු විය. එදා විනිසුරුවරුන් උසස් කිරීම පිළිබඳ නිර්ණායක ඇතුළත් ක‍්‍රමවේදය සම්මත කර ගන්නා විට ඔහු එහි සිටියේ ය. කිසිදු විරුද්ධත්වයක් නොදැක්වූයේ ය. ඒ අලුත් නිර්ණායක අනුව විනිසුරුවරුන් එකිනෙකාගේ පත් කිරීම් සිදු විය. ක‍්‍රමානුකූලව ඉහළ අධිකරණය දේශපාලනඥයන්ගෙන් හා දූෂිත පුද්ගලයන්ගෙන් නිදහස් කර ගන්නා තැනට පැමිණෙමින් තිබිණි. මුළු අධිකරණ ක්ෂේත්‍රයේ ම ඒ පිළිබඳව සාපේක්‍ෂ පැහැදීමක් ද ඇති විණි. මේ අතර පසුගිය දා හිටිහැටියේ ම බෝම්බයක් පත්තු වුණේ ය. ඒ අන් කිසිවක් නිසා නොව මෛත්‍රීපාල එවන ලද නමක් දෙකක් ප‍්‍රතික්ෂේප වීමත් එක්ක ය. මෙය පටන් ගත්තේ හරියට ම ඔක්තෝබර් 25 වැනිදා ය. කල් ඇතිව සැලැසුම් කළ මෛත්‍රීපාලගේ උපක‍්‍රමය වරදින්නේ මෙතැන් සිට ය.

ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයට කලින් ඉහළ අධිකරණයට තමන්ට හිතවත් අය දා ගැනීමේ මෙහෙයුම ආරම්භ විය. එහෙත්, ඔහු නොසිතූ පරිදි ඔහු එවන ලද නම් අනුමත නොවුණේ ය. ඒ අන් කිසිවක් නිසා නොව පැහැදිලි, ප‍්‍රසිද්ධ චෝදනා තිබූ බැවින් ය. අද වෙන කොට මහින්ද රාජපක්‍ෂ නඩය ම තප්පුලන්නේ ඒ වුවමනාව ඉටුකර ගත නොහැකි වූ නිසා ය. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් පත්කරන ලද සියලු ම දෙනා මෛත්‍රීපාල විසින් එවන ලද අයයි. එහි දී ජ්‍යෙෂ්ඨත්වය මත ඔහු නම් එවා නොතිබිණි. උදාහරණයක් ලෙස ගතහොත්. කලින් සිටි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨතමයා විය. ඒ නම එවන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අට වැනි ස්ථානයේ සිටි චිත‍්‍රසිරි මහතාගේ නම ද එවා තිබිණි. චිත‍්‍රසිරි මහතා ද ඒ තනතුරට ඉතාමත් සුදුසු කෙනෙකි. ඒ පිළිබඳව විවාදයක් නොමැත. ප‍්‍රශ්නය වන්නේ අද ජ්‍යෙෂ්ඨත්වයට සලකන්නේ නැතැයි කියන මෛත්‍රීපාල ම ඒ නම එවීම ය. වර්තමාන අගවිනිසුරුවරයා සිටියේ ද ජ්‍යෙෂ්ඨත්වයෙන් හය වැනි ස්ථානයේ ය. ඔහුගේ නම ව්‍යවස්ථා සභාව අනුමත කළේ ය. වීරවංශලා ඇමෙරිකන් ආගම්කාරයකු යැයි පහර ගසන්නේ මොහුට ය. එහෙත්, ඒ නම එව්වේ මෛත්‍රීපාල ම ය. අනුමත කළේ මහින්ද සමරසිංහලා ය. ඔහු ඉතා ම දක්‍ෂ අපක්‍ෂපාතී විනිසුරුවරයෙකි. ඒ නම එයට ඉතා සුදුසු ය. මෛත්‍රීපාලගේ තේරීම නිවැරැදි ය. ප‍්‍රශ්නය වන්නේ එසේ නම්, එසේ නම එවා දැන් වෙන වෙන බයිලා ගැසීම ය. ඇත්ත කතාව නම්, මහින්ද රාජපක්‍ෂලාට, මෛත්‍රීපාලලාට ඕනෑ වී තිබුණේ, ඊවා වනසුන්දරව එතැනට පත්කර ගැනීම ය. නීති ක්ෂේත‍්‍රයෙන් ආපු විරෝධයත් එක්ක කරකියා ගත හැකි දෙයක් නොවූ බැවින්, වත්මන් අගවිනිසුරුගේ නම එව්වේ ය. එය එසේ නොවන්නට සිදුවන්නට ගියේ බරපතළ ම වැරැද්දකි. අදත් අභියාචනාධිකරණයට දීපාලි විජේසුන්දර මහත්මියගේ නම එව්ව ද, දෙවරක් ම එය ප‍්‍රතික්ෂේප විය. මෛත්‍රීපාල සම්පූර්ණයෙන් ම නීති විරෝධී ලෙස ඇයව එහි වැඩ බලන සභාපති ලෙස පත්කළේ ය. මෙය මුළුමනින් ම ව්‍යවස්ථා විරෝධී ය. දැන් හදන්නේ කොහො ම හරි ඒ වැඩේ තහවුරු කර ගන්නට ය. ඒකට බාධා වී ඇත්තේ, ව්‍යවස්ථා සභාව ය. මෛත්‍රීපාල කේන්තියෙන් පට්ටා ගහන්නේ තමන් එවපු නම් අනුමත නොකිරීම ගැන ය. ජ්‍යෙෂ්ඨත්වය පමණක් සලකන්නේ නම්, ජනාධිපති කෙනකු හෝ ව්‍යවස්ථා සභාවක් අවශ්‍ය වන්නේ නැත. ස්වාභාවිකව ම එකී තනතුරුවලට පුද්ගලයන් පත්වනු ලබයි. එවිට ඕනෑ ම චෝදනා ඇති දූෂිත අයකුට එකී තනතුරුවලට පත්විය හැකි ය. ඒ වාගේ ම අකාර්යක්‍ෂම, කිසිදු නඩු වාර්තාවක් නොලියන අයටත් එසේ පත් විය හැකි ය. අගැයීමකින් තොරව සියල්ල සිදු වේ. මෙය වෙනස් කොට පරීක්‍ෂාවට ලක්කිරීම සඳහා ඇති එක ම ස්ථානය ව්‍යවස්ථා සභාවයි. ඒ මඟින් ගනු ලබන සියලු තීන්දු තීරණ සියයට සියයක් ම නිවැරදි යැයි කිව නොහැකි ය. එහෙත්, තනි පුද්ගලයකු තම දේශපාලන වුවමනාව මත කරන ලද දේවල් විවිධ දේශපාලන මත දරන අය කණ්ඩායමකගේ පරීක්‍ෂාවට ලක් වීමෙන් සිදු විය හැකි හානිය අවම කර ගත හැකි ය. පසුගිය කෙටි කාලය පුරාවට එය සිදු විය.

මෛත්‍රීපාල අවුරුද්දකට කලින් තමන්ගේ ධුර කාලය අවුරුදු පහ ද හය ද යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසුවේ ය. එහි දී තීන්දුව වූයේ, ‘පහක් පමණක්’ යන්න ය. පසුගිය ව්‍යවස්ථා උල්ලංඝනයේ දී ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අපක්‍ෂපාතී, නිවැරදි තීන්දුවක් අධිකරණය ලබා දුන්නේ ය. මේ වාගේ ආණ්ඩුව කරන්න ගිය වැරදි ගොඩක් අධිකරණයෙන් අනෙක් පැත්ත හැරවූයේ ය. ඉදිරියේ දී කර ගන්න යැයි සිතා සිටින දේවල්වලටත් මෙවැනි අධිකරණයක් බාධාවක් විය හැකි ය. තමන්ගේ ම ආණ්ඩුවේ චූදිතයන් බොහෝ පිරිසකට එරෙහිව මේ වනවිට නඩු ඇසෙමින් පවතී. ගෝඨාභය රාජපක්‍ෂගේ නඩුව ද විශේෂ මහාධිකරණයේ අසන්නට පටන් ගත්තේ ය. තව ඉදිරියේ දී ගොඩක් දේවල් වෙන්නට පුළුවන් ය. දැන් මේ හදන්නේ ඒවා වළක්වා ගන්නට ය. මධුෂ්ලාට ආරක්‍ෂාව සහ අනුග‍්‍රහය සැපයූ තමන්ගේ ම ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූවන් චෝදනාවලින් බේරා ගන්නට ය. රුසියාවේ තානාපති වශයෙන් දයාන් ජයතිලකව පත්කළා වාගේ තමන්ට ඕනෑ අයව පත්කර ගන්නට ය. එදා ඒ.එස්. පී. ලියනගේ මහින්ද රාජපක්‍ෂට රාජගිරිය කාර්යාලය දීපු කෙනා ය. එයාට තිබුණු චෝදනා ෆයිල් එක පෙන්නලා මිනිහා භය කර ගත්තේ ය. ඒකට හිලව් වශයෙන් කටාර්වල තානාපති ලෙස පත්කළේ ය. මේවා සැඟවුණු රහස් ය. මහින්ද රාජපක්‍ෂගේ පියන්ගේ තත්ත්වයට පත්වෙලා බහුබූත කතා කියන්න ගත්තොත්, මෛත‍්‍රීගේ පැටිකිරිය එළියට එන එක මතක තබා ගත යුතු ය. රටේ නීතියේ ආධිපත්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හරි දෙයක් කරනවා මිසක් වැරදි දේ නොකළ යුතු ය; නොකිව යුතු ය. ඒ පිළිබඳව පරිස්සම් වුවොත්, කාගේ කාගේත් ඇඟට හොඳ ය. එසේ නැත් නම්, මධුෂ්ලාගේ කටවල්වලින් ම ඔය සැඟවුණු බොහෝ දේවල් එළියට ආ හැකි ය.

ලංකා ඉරිදා සංග්‍රහය


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment