Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රීපාල සිරිසේනගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශක හොර දොස්තර වංචාකාරයෙක්.


මිනිසුන් මුලා කර සමාජය නොමග යවමින් තමන්ට නැති ප්‍රභූ බවක් ඉස්මතු කර කිසියම් ප්‍රබල දේශපාලනඥයකුගේ ළඟට කිට්ටු වී ඔවුන්ගේ රැකවරණය යටතේ වංචනික වැඩ සිදු කිරීම දක්ෂ කපටින්ගේ වංචාකාරී බවේ ප්‍රතිමූර්තියකි. එවැනි පුද්ගලයන් නිතරම සමාජය නොමග යවන්නේ තමාට රැකවරණය දෙන දේශපාලනඥයාගේ ආනුභාවය ඇතිවය. කොළඹ 7, වෝඞ් පෙදෙසේ, අංක 187 දරන ස්ථානයේ පිහිටා තිබෙන බව කියන ‘සිංහලේ තරුණ පෙරමුණේ’ න්‍යායාචාර්ය ලෙස පෙනී සිටින වෛද්‍ය සංගීත් ජයසේකරද එවැනි ගණයේ කට්ටකයිරාටික වෙට්ට පිත්තල වංචාකාරී නරුමයෙකි.

ඔහු බොහෝ තැන්වල ප්‍රකාශ කරන්නේ තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශක යනුවෙනි. යම් යම් පුද්ගලයන් සිටින ස්ථානවලදී ඔහු ජනාධිපතිවරයාට කථා කරන ආකාරයට සිය ජංගම දුරකථනයෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ බව කියන ‘ප්‍රියන්ත’ නමැති පුද්ගලයකුටද කතා කරමින් ජනාධිපතිවරයාට පවසන ලෙස කියා යම් යම් පණිවිඩද ඔහු වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය උපදේශකද? ඔහු වෛද්‍යවරයෙක්ද? යනාදී කරුණු පිළිබඳව අපට සැක සංකා මතු වූයේ ඔහු පුවත්පත්වල පළ කර තිබූ දැන්වීම් කිහිපයක් පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදීය.

මොහු පුවත්පත් කිහිපයක පළ කර තිබූ එම දැන්වීම්වලින් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ මැදිහත්වීම මත අනුරාධපුර හා පොළොන්නරුව කේන්ද්‍ර කර ගෙන වකුගඩු, ඒඞ්ස්  හා පිළිකා රෝහල් තුනක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවය. ඉන්දියානු වෛද්‍යවරයකුගේ මැදිහත්වීම මත එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් රංජන් විජේරත්නගේ මුණුපුරෙකු වන රනිල් විජේරත්නගේ මැදිහත්වීමද මුල් කර ගෙන මෙම රෝහල් තුන ස්ථාපිත කිරීම ඔහුගේ අරමුණ බවද වෛද්‍යවරයකු බව කියන සංගීත් ජයසේකර එම පුවත්පත් දැන්වීම් මගින් කියා තිබිණි.

ඇතුල් කෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක 650 දරන ස්ථානය කෙනේද්‍ර කරගෙන තමා විසින් මෙම කාර්යයන් සිදු කරන බවත් මෙම රෝහල් තුනට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වස විසෙන් තොර කෘෂිකර්මයක් උදෙසා ව්‍යාපාරයට දායකත්වය සැපයීමේ අරමුණෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියා තිබිණි.

මෙම වැඩසටහන දියත් කිරීමේදී ඔහු බොහෝ අයට දැනුම් දී තිබුණේ තමා මෛත්‍රිපාල සිරිසේනගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශකයා ලෙසය. එසේම සිංහලේ තරුණ පෙරමුණේ න්‍යායාචාර්යවරයා ලෙසද පෙනී සිටි මෙම පුද්ගලයා එම පෙරමුණට අදාළවද පුවත්පත් දැන්වීම් පළ කරමින් කියා තිබුණේ එම පෙරමුණේ සභාපති වෛද්‍ය කේ. ලිංගේෂ්වරන් බවය. එහි උප සභාපති වෛද්‍ය විමල් චන්ද්‍රප්‍රිය තාබෲද, මහලේකම් සඳමාලි රන්දෙනිය ලෙසද එම දැන්වීම් මගින් දන්වා තිබිණි.

මෙම දැන්වීම් කියවන ඕනෑම අයකුට හිතට නැඟෙන්නේ මේ මහා ව්‍යාපෘතියක් ලෙසය. දේශපාලන පක්ෂයක නායකයකු ලෙස පෙනී සිටි දොස්තර සංගීත් ජයසේකරගේ මෙම ක්‍රියාදාමයට බොහෝ පුද්ගලයන් රැවටී තිබිණි. ඔහු එම පුවත්පත් දැන්වීම් යම් යම් ප්‍රභූවරුන්ට පෙන්වමින් විවිධ වංචනික ක්‍රියාවලද නියැලී තිබිණි. සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ එම පුවත්පත් දැන්වීම් පළ කරමින් එම පුවත්පත් ආයතනවලට පවා මොහු මුදල් නොගෙවා පොලු තබා කට්ටි පනිමින් සිටින වංචාකාරයකු බවය.

සැබැවින්ම මෙම වංචාකාරයා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශකයාද යන්න විමර්ශනය කිරීමේදී හෙළි වුණේ ඔහු එවැනි කිසිදු තනතුරක් ජනාධිපතිවරයා ළඟ නොදරන බවය. එසේ නම් ඔහු ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් ලොකු වංචාවක් සිදු කර ඇති බව ඉන්ම මනාව වැටහෙනවා ඇත. සමාජයේ බොහෝ පුද්ගලයන්ට හා මැති ඇමැතිවරුන්ට ඔහු ප්‍රකාශ කර තිබුණේ තමා වෛද්‍යවරයෙක් බවය. එපමණක් නොව ඔහු සමහර අවස්ථාවල සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙසද සමාජය ඉදිරියේ පෙනී සිටියේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ කිට්ටුවන්ත මිත්‍රයෙක් වන මෙම වංචාකාරී සංගීත් ජයසේකර නමැත්තා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශ උපදේශකයෙක්ද යන්න සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ එවැනි තනතුරක් ඔහු එම අමාත්‍යාංශය තුළ නොදරන බවය. ඔහු ජනාධිපතිවරයාගේ හා රාජිත සේනාරත්න හා චතුර සේනාරත්නගේ නම් භාවිත කරමින් වංචනික වැඩවල නියැලෙන බව නම් අනාවරණය විය. සැබැවින්ම මෙම පුද්ගලයා වෛද්‍යවරයෙක්ද? ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍යවරයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එසේ නොවේ නම් ඔහු පිළිගත් වෛද්‍යවරයෙක් ලෙස සැලකෙන්නේ නැත. ඒ අනුව අප ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් මේ පිළිබඳව සොයා බැලුවද සංගීත් ජයසේකර නමින් කිසිදු වෛද්‍යවරයෙක් නොමැති බව අනාවරණය විය.

එසේ නම් සංගීත් ජයසේකර නමැති මෙම පුද්ගලයා වෛද්‍ය යන වෘත්තීය නාමය සිය නම ඉදිරියෙන් භාවිත කරන්නේ කෙසේද? එහිදී හෙළි වූයේ ඔහු සමාජය නොමග යැවීම සඳහා එය භාවිත කරන බවය. එසේ නොමැතිව ඔහු වෛද්‍යවරයෙක් නොව හොර වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයෙක් නම් ඔහු සේවය කළ රෝහලක් තිබිය යුතුය. රජයේ නොමැතිනම් පෞද්ගලික එකක් විය යුතුය. අඩු තරමින් ඩිස්පැන්-සරියක්වත් තිබිය යුතුය. එහෙත් එබඳු කිසිදු තැනක මොහු සේවය කර නැත. අඩුම අඩුතරමින් මොහු බෙහෙත් තෙල් වෙළෙන්දක්වත් නොව අමුම අමු වංචාකාරී පුද්ගලයෙකි. හොර වෛද්‍යවරයෙකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළද මෙම සංගීත් ජයසේකර නමැත්තා ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශක ලෙස සමාජය ඉදිරියේ පෙනී සිට ඇත. එය එවකට පොලිසියට ලැබුණු තොරතුරක් මත මොහු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට පවා ගෙන ඇත. ඒ ඔහු ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය උපදේශකයා ලෙස වංචනිකව පෙනී සිටීමේ චෝදනාව යටතේය. මොහු එම යුගයේ නාමල් රාජපක්ෂටද කිට්ටු වී සිට යම් යම් වංචනික ක්‍රියා දියත් කිරීමට උත්සාහ කර ඇති බව කියැවේ.

මොහු ප්‍රකාශ කරන්නේ තමා පානදුර, අරුක්ගොඩ, බණ්ඩාරගම පාරේ, අංක 365/5 දරන ස්ථානයේ පිහිටි ‘ඩිස්කවරි’ පුද්ගලික රෝහලේ අයිතිකරු බවය. එහි ප්‍රධාන වෛද්‍යවරයා ලෙසද ක්‍රියා කරන බව කියන මෙම සංගීත් ජයසේකර නමැති පුද්ගලයාගේ එම රෝහල සොයා ගෙන අප පානදුර අරුක්ගොඩ ප්‍රදේශයට ගියද එම ප්‍රදේශයේ එවැනි කිසිදු රෝහලක් නැත. එසේ නම් මෙය අමූලික පට්ටපල් බොරුවකි. ව්‍යාජ ලිපිනයක් භාවිත කරමින් මොහු ව්‍යාජ පුද්ගලික රෝහලක් ඇතැම් දෙනාගේ සිත් තුළ නිර්මාණය කර ඇති බව මින් පෙනී යනු ඇත.

මෙම පුද්ගලයා මෙම ලිපිනය භාවිත කරමින් ව්‍යාජ පැමිණිලද පොලිසි වල දමා ඇත. ඉන් එක් පැමිණිල්ලක් අප අතටද පත් විය. එනම්, වේයන්ගොඩ පොලිසියේ 2016 සැප්තැම්බර් මස 25 වැනිදා පැමිණිල්ලක් සිදු කර ඇත. එය සී.අයි.බී. (1) 315/263 යටතේ සටහන් වී ඇත. විවාහ පොරොන්දු කඩ කිරීම යන ඡේදය යටතේ දමා ඇති එම පැමිණිල්ල මගින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමාගේ සහෝදරිය වන මාලා ජයසේකර නමැත්තියගේ දියණිය වන නිලක්ෂි ධනුජිකා සමග වේයන්ගොඩ, ගොරොක්ගහලන්ද වත්ත, අංක 326/1 දරන ස්ථානයේ පදිංචි උදිත් මධුශංඛ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය.

විවාහ වන බවට පොරොන්දු වී එම පුද්ගලයා සිය සහෝදරියගේ දියණිය දූෂණය කර කට්ටි පනිමින් සිටින බව ඔහු ඉන් කියා ඇත. විවාහ කර ගන්නා බවට පොරොන්දු වී අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ අට හමාරක් හා රුපියල් හාරලක්ෂ අසූ දහසක මුදලක් ලබා ගත් බවටද ඔහු එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටිති.

අවසානයේ දියණිය විවාහ කර ගැනීමට නම් ඔහු ලක්ෂ විසි පහක මුදලක් ඉල්ලූ බවද කියා සිටී. එහෙත් අදාළ මුදල් තමන් හරහා බැංකුගත කර ගෙන එම පුද්ගලයා සිය සහෝදරියගේ දියණිය විවාහ නොකරගෙන ජපානයට පැන ගිය බවත් එබැවින් තම සහෝදරියගේ දියණිය මේ වන විට අනාථ වී සිටින බැවින් ඔහුට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එම පැමිණිල්ල මගින් ඔහු කියා සිටී. කාන්තා පොලිස් කොස්තාපල් තිළිණි (8640) පොලිස් පොතේ සටහන් කර ඇති බව කියන එම පැමිණිල්ලේදී මෙම සංගීත් ජයසේකර නමැත්තා වේයන්ගොඩ පොලිසිය තුළ පොලිස් නිලධාරීන් ඉදිරියේ පෙනී සිට ඇත්තේද පානදුර, අරුක්ගොඩ, බණ්ඩාරගම පාරේ, 365/5 අංක දරන ස්ථානයේ පිහිටි ඩිස්කවරි පුද්ගලික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙසය.

සැබැවින්ම මෙම ස්ථානයේ එවැනි රෝහලක් නැත. එසේම මොහු වෛද්‍යවරයකුද නොවේ. එවැනි ස්වභාවයක් තුළ මොහු පොලිස් ස්ථානයකට ව්‍යාජ තොරතුරු සපයා පැමිණිල්ලක් කළේ නම් එයද බරපතළ වරදකි. එයම පදනම් කර ගෙන රජයේ ආයතනයකට වංචනික තොරතුරු සැපයුවේ යැයි යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ හැක.

එසේම මොහු 2015 ජූලි මස 31 වැනිදා ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට යම් තොරතුරක් ලබා දී ඇත. ඉන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ රාජිත සේනාරත්න චම්පික රණවක හා චතුර සේනාරත්නව ඝාතනය කිරීම උදෙසා දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා තවත් ව්‍යාපාරිකයෙක් එකතු වී කටයුතු කරන බවය. දෙමටගොඩ චමින්ද යන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කර දුමින්ද සිල්වා සමග දැනට මරණ දඬුවමට නියම වී බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාය. ඔහු ව්‍යාපාරිකයකුගෙන් කොන්ත්‍රාත්තුවක් අරගෙන සරත් බණ්ඩාර නමැති පුද්ගලයාගේ මාර්ගයෙන් රාජිත සේනාරත්න, චතුර සේනාරත්න, චම්පික රණවක තිදෙනා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ඉන් දැනුම් දී ඇත.

මෙය නිවැරදි ප්‍රවෘත්තියක්ද? සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ එහි කිසිදු සත්‍යතාවක් නැති බවය. එය අමූලික බොරු ප්‍රවෘත්තියකි. සංගිත් ජයසේකර නමැත්තා එවැනි බොරුවක් පැවසීමෙන් උත්සාහ කර ඇත්තේ එම දේශපාලකයන්ගේ ජීවිත කල්වේලා ඇතිව ඔත්තු ලබාදෙමින් ආරක්ෂා කළේ තමා බවට ඔවුන්ගේ සිත් තුළට මතයක් ගොනු කරමින් ඔවුනට සමීප වී කිසියම් වංචනික ක්‍රියාවද නියැලීමට විය හැක.

ඔහු 2016 ජනවාරි මස 02 වැනිදා නවගමුව පොලිසියට පැමිණිල්ලක් කරමින් තමාව රෂ්මි ඇටිගල්ල නමැති නීතිඥවරියක් පැහැර ගෙන යාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල කර ඇත. පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන ඇය මහරගම ප්‍රදේශයේ ෆාමසියක්ද පවත්වාගෙන යන බව කියයි. ඇය සංගීත් ජයසේකර සමග ප්‍රේම සබඳතාවක් ඇති කර ගෙන නවගමුව, කොරතොට පන්සල අසලට ගෙන්වා තවත් තරුණයන් දෙදෙනකු සමග එකතුවී පහර දි ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් සහ චෙක්පතක්ද ලබා ගත් බව කියති.

එසේම අතුරුගිරිය කොමර්ෂල් බැංකුවට ඔහුව රැගෙන යමින් ඒ.ටී.එම්. කාඞ්පතින් රුපියල් විසිපන්දහසක මුදලක් මංකොල්ලකෑ බවද ඔහු කියන දෙයකි. ඔහු කියන ආකාරයට ඔහුව පැහැර ගෙන මෙලෙස මංකොල්ල කෑමක නියැලුනා නම් එය පොලිස් පොතේ සටහන් විය යුත්තේ බල අපරාධ පොතේය. නමුත් එම පැමිණිල්ලට අනුව එය සටහන් වී අත්තේ සුළු පැමිණිලි පොතකය. එමගින්ම මෙය ව්‍යාජ පැමිණිල්ලක් බවට හැඟෙනු ඇත.

නුවර ප්‍රදේශයේ හැදී වැඩුණු බව කියන මොහුගේ පියා පේරාදේණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.එල්. ජයසේකරද, මව පොළොන්නරුව මහාවිද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.එල්. ජයසේකර බව ඔහු කියන දෙයකි. එම කරුණු නිවැරදිද යන්න පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ ඒවාද පට්ටපල්බොරු බවය.

සිංහලේ තරුණ පෙරමුණේ නායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශක ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා ප්‍රකාශ කරන්නේ ත්‍රිකෝණමිතිවාදය යනුවෙන් තමා විසින් ලියන ලද කෘතිය මහින්ද රාජපක්ෂ සොරා ගෙන එහි අඩංගු කරුණු ඔහු සිය දේශපාලන භාවිතයට ලබා ගත් බවය. පට්ටපල් බොරුකාරයකු ලෙස ජනාධිපතිගේ නමද උපයෝගි කර ගෙන වෛද්‍යවරයකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින මෙම පුද්ගලයා 2016 ජුනි මස 12 වැනිදා ජනාධිපතිවරයාට සිය අත්සන සහිතව ලිපියක් යොමු කර ඇත.

පිටු හතරකින් යුතු එම ලිපියේ තුන්වැනි පිටුවේ එක් තැනක සඳහන් වන්නේ මීට වසර දෙකකට පමණ පෙර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ හදිසි පිපිරීම සම්බන්ධයෙනි. එහි ඔහු සඳහන් කරන්නේ සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් 830ක් පිළිස්සී මිය ගොස් ඇති බවය. එසේම එහි යුද හමුදා සංගීත කණ්ඩායමේ හා නැටුම් කණ්ඩායමේ කාන්තා සෙබළියන් සියයකට ආසන්න පිරිසක් මියගොස් සහ බරපතළ හානි සිදු වී රුපියල් කෝටි දෙදහකට ආසන්න මුදලක් අලාභ හානියක් සිදු වී ඇති බවය.

එසේම ඔහු එම ලිපිය මගින් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සතුව අක්කර 70ක පොල්වත්තක් වාරියපොළ, තිලක දසනායක මාවතේ තිබෙන බවය. එසේම බෙල්ලන්විල කුරුළු භූමියේ යට තැන්පත් කර තිබූ කෝට්ටේ රාජධානියේ අවසන් රජුගේ මැණික් ඔබ්බන ලද දඹ රත්‍රං පුටුව ගෝඨාභය රාජපක්ෂ හෙලිකොප්ටරයකින් පටවාගෙන ගියබවය. එය ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ජනාධිපතිවරයාට එම ලිපිය මගින් දැනුම් දී ඇත.

සැබැවින්ම ඔහු මෙම ලිපියේ සඳහන් කර ඇති කරුණු නිවැරදි ඒවාද? වංචනික පුද්ගලයෙක් ලෙස නම් දරා සිටින සංගීත් ජයසේකර නමැති මෙම හොර දොස්තරවරයා ජනාධිපතිවරයාගේද නම භාවිත කරමින් හෝමාගම දියගම ප්‍රදේශයේ ඔහුට අයත් බව කියන අක්කරයකට ආසන්න ඉඩමක් වංචනික ලෙස තවත් පුද්ගලයකුට විකිණීමටද උත්සාහ කර ඇත. එසේම ඒ ආසන්නයේ පදිංචි කිහිප දෙනකුගෙන් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇත. ඔහු එම ප්‍රදේශයේ අය ඉදිරියේ පෙනී සිට ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමීපතව සිටින එකම විශ්වාසවන්ත පුද්ගලයා ලෙසය. එසේ ප්‍රකාශ කරමින් ඔහු මෙලෙස රැකියා ලබා දෙන බව පවසා එකී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇත. නමුත් දීපු රැකියාවක්ද නැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නම විකුණමින් මොහු රාජගිරිය, නාවල පන්සල පාරේ මීටර් 200ක් පමණ ඔබ්බෙන් පිහිටි පර්චස් 100ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි 60කට විකිණීමට උත්සාහ කර ඇත. ඔහුට මෙම ව්‍යාජ ඔප්පුව සකස් කිරීම සඳහා උදව් කර ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥ වසන්ත රණසිංහය. 2015 ජූලි මස 08 දින යොදා සකස් කර ඇති එම ඔප්පුව හරහා ඔහු ප්‍රකාශ කර සිටින්නේ තමාට සිය පියාගෙන් එම ඉඩම තෑගි ඔප්පුවකින් ලැබුණු බවය.

නමුත් මෙය අමූලික පට්ටපල් බොරුවකි. මෙම පුද්ගලයා එම නීතිඥයා සමග වෙනත් අයකුගේ ඉඩමකට මෙලෙස හොර ඔප්පුවක් සකස් කර රුපියල් කෝටි හැටකට විකිණීමට උත්සාහ කර ඇත. එපමණක් නොව, එම ඉඩමෙන් කොටසක් කිරිබත්ගොඩ මෝටර් රථ ව්‍යාපාරිකයකුට ලබා දී ඊට අදාළව රුපියල් ලක්ෂ 172කට බී.එම්.ඩබ්. වර්ගයේ මෝටර් රථයක් ඔහුගෙන් ලබා ගැනීමට උත්සාහ කර ඇත. එම ව්‍යාපාරිකයා වාහන විකිණීමේ අංගනයක් පවත්වාගෙන යන අයෙකි. නමුත් ඔහුද එම ඔප්පුව පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ බවක් ඇති බව දැන ගැනීමත් සමග ඔහුට එම මෝටර් රථය එම ඉඩම් කොටස වෙනුවෙන් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ඉඩම කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුවට හෝ එල්.බී. ෆිනෑන්ස් ආයතනයට විකිණීමටද අවස්ථා කිහිපයකදීම මොහු උත්සාහ දරා ඇත. නමුත් ඒවා එකක්වත් සාර්ථක වී නැත්තේ මෙම ඉඩම වංචාවෙන් ලබා ගත් එකක් බවට ඔවුන්ට එහි පත්තිරු පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇති බැවිනි.

මොහු ඉඩකඩම් දේපළ හෝ වෙනත් දේවල් වංචා කළා පමණක් නොව, ඔහු තම විවාහය සිදු කර ගෙන ඇත්තේද වංචනිකවය. 2016 ඔක්තෝබර් මස 19 වැනිදා ඔහු එම විවාහය සිදු කර ගෙන ඇත. එයට සාක්කිකරුවකු ලෙස අත්සන් කර ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ අයෙකි. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ඇයව රවටා මෙම විවාහය ඔහු සිදු කර ගෙන ඇතත් මොහු සැබැවින්ම වෛද්‍යවරයෙක් නොවන බව මේ වන විට අනාවරණය වී ඇත්තේ ඔහුගේ වංචනික ක්‍රියාද ඇයට දැන් ටිකෙන් ටික හෙළිවීමට පටන් ගෙන ඇති බැවිනි. තවමත් ජනාධිපතිවරයාගේ හා ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රකාශ කරමින් වෛද්‍යවරයකු ලෙස බොහෝ දෙනා අතර පෙනී සිටිමින් මෙම සංගීත් ජයසේකර නමැති පුද්ගලයා බොහෝ වංචනික ක්‍රියාවල නියැලෙන්නට පටන් ගෙන ඇත. ඔහුගේ ප්‍රධාන වංචනික ක්‍රියාව වී ඇත්තේ අයිතිකරුවන් නැති ඉඩම්වලට හොර ඔප්පු සකස් කිරීමය. එබැවින් මෙම වංචාකාරී පුද්ගලයා පිළිබඳව රහස් පොලිසිය හෝ වෙනත් ඔත්තු අංශ සැලකිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත්ය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment