Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට පෙම්කළ තරුණයාව මරා දැමූ කථාව.

මොහොමඞ් වසීම් තාජුඩීන්… මේ නම ඇසූ පමණින් ඔහුව කවුරුත් දන්නවා ඇත. ඔහු එතරම්ම ජනප්‍රිය චරිතයකි. එහෙත්, ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. ඔහු මිය ගිය පුද්ගලයෙකි. මිය ගියා නොව, අබිරහස් ලෙස ඔහුව ඝාතනය කරනු ලැබීය. ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ උපනායකත්වය දැරූ මොහොමඞ් වසීම් තාජුඩීන් රගර් ක්‍රීඩාවටම උචිත ශක්තිමත් දේහධාරියකින් හෙබි කඩවසම් පුද්ගලයෙකි.

ඔහුව ඉතාමත් සැලසුම් සහගතව අභිරහස් ආකාරයෙන් ඝාතනය කළේ කවුද? ඒ වෙන කිසිවකුත් නොව, එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ පවුලයි. සිය දේශපාලන බලය සියතේ දරාගෙන උපරිමයෙන් සිය මිලිටරි බලය රට පුරා ව්‍යාප්ත කරමින් 2005 සිට 2015 දක්වා රට පාලනය කළ මහින්ද රාජපක්ෂගේ මිලිටරි පාලනය විසින් බිලි ගත් ඉතාමත් සුවිශේෂී චරිතයක් ලෙස මොහොමඞ් වසීම් තාජුඩීන් ඉතිහාසයට එක් වී හමාරය.

එම ඝාතනය සිදු වූයේ දේශපාලන ප්‍රශ්නයක් මත නොව සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුල හා ඔහු අතර සිදු වූ පෞද්ගලික ගනුදෙනුවක් මුල් කර ගෙනය. එම ගනුදෙනුව අන් කිසිවක් නොව, ප්‍රේම සබඳතාවක අනිටු ප්‍රතිඵලයකි. එනම්, මහින්ද රාජපක්ෂගේ හා ශිරන්ති රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වූ හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය සමග අයුතු සබඳතාවක් පැවැත්වීය යන සැකය මත ඔහුව ඝාතනය කර ඇති බවය.

තවත් කරුණකින් අනාවරණය වූයේ නාමල් රාජපක්ෂ හා මොහොමඞ් වසීම් තාජුඩීන් අතර හැව්ලොක් ක්‍රීඩාංගණය මුල් කර ගෙන ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ පවුල විසින් තාජුඩීන්ව ඝාතනය කළ බවය.

සමාජය තුළ දැඩි කතා බහට ලක් වූයේ නාමල් රාජපක්ෂ සිදුවීමටත් වඩා යෝෂිත රාජපක්ෂ හා බැඳුණු පෙම් පලහිලව්ව මත තාජුඩීන් ඝාතනය කළ බවය. එනම්, යෝෂිත රාජපක්ෂ ඒ වන විට පෙමින් වෙළී සිටියේ යසාරා අබේනායක නමැති තරුණිය සමගය. ඇය ජනප්‍රිය චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකාගේ බෑණා කෙනෙකු වන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායකගේ දියණියයි.

යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යසාරා අබේනායක, මොහොමඞ් වසීම් තාජුඩීන් ඇතුළු තවත් කිහිප දෙනෙක් එකම යාළුවෝ පිරිසකි. නිතර දෙවේලේ හමු වන කන බොන ඇසුරු කරන පිරිසකි. ඒ අතරවාරයේ යසාරා අබේනායක හා මොහොමඞ් වසීම් තාජුඩීන් අතර ප්‍රේම සබඳතාවක් ගොඩනැගී ඇති බවට මතයක් ගොඩනැගිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන් වියරු වැටුණු යෝෂිත රාජපක්ෂ තාජුඩීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බව ඉස්මතු වූ කරුණකි. 
ඒ අනුව ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා අබිරහස් ලෙස ඝාතනය කෙරිණි. ප්‍රථමයෙන්ම එදින රාත්‍රියේ ඔහුව උපක්‍රමශීලි ලෙස බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලක් අසලට රැගෙන විත් ඉන් පසුව එතැන් සිට තාජුඩීන් ආපසු යන අවස්ථාවේ ඔහුව ඝාතනය කිරීමේ සැලසුම දියත් කර ඇත.

තිඹිරිගස්යාය ලාෆ් ගෑස් ආයතනය ඉදිරිපිට සිට නාරාහේන්පිට හරහා ගජබා මාවත ඔස්සේ තාජුඩීන් සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඒ පසුපස හඹා ගොස් ඔහුව නාරාහේන්පිට ගජබා මාවත සීමාවේදී රාජපක්ෂ මැරයන් විසින් සිය ග්‍රහණයට ගෙන යකඩ පොලුවලින් පහර දී ඔහුගේ ශක්තිමත් සිරුර අඩපණ කර ඉන් පසුව නාරාහේන්පිට ශාලිකා ශාලාව ඉදිරිපිටට රැගෙන ගොස් ඔහුගේ මෝටර් රථය එහි තාප්පයේ ගැටීමට සලස්වා ඒ තුළට තාජුඩීන්ව දමා පෙට්‍රල් දමා ගිනි තබා ඇත. 
ඉන් පසුව ප්‍රචාරය කරනු ලැබුවේ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ උපනායක මොහොමඞ් වසීම් තාජුඩීන් අධික ලෙස බීමත්ව සිය මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී ශාලිකා ශාලාවේ තාප්පයේ ගැටී මෝටර් රථය ගිනි ගෙන ඔහුගේ සිරුර දැවී මිය ගොස් ඇති බවය. අධිකරණ වෛද්‍යවරයාද ඒ බව සහතික කර සිටියේය. ජනමාධ්‍යයද ඊට අදාළව පුළුල් ප්‍රචාරයක් ලබා දෙනු ලැබීය.

මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කරන ලෙස හා එම සිදුවීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ අරලියගහ මන්දිරයේ සිට නාරාහේන්පිට පොලිසියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබා දී ඇත. ඊට අමතරව ඇය ඒ වන විට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක හා දුරකථන සංවාදයන්වලද යෙදී ඇත. මෙය ඝාතනයක් නොව, රිය අනතුරක් ලෙස හුවා දක්වමින් පරීක්ෂණ සිදු කරන ලෙස ඒ වන විට නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධුරය දැරූ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාටද උපදෙස් ලැබී ඇත.

මෙම ඝාතන සිදුවීමත් සමග එදින රාත්‍රියේ එම ස්ථානයට ජ්‍යෙෂ්ඨ නියෝ්‍ය පොලිස්පති අනුර සේනානායක කොට කලිසමක් ඇඳ ගෙන එම ස්ථානයට පැමිණ පරීක්ෂණ විය යුතු ආකාරය පිළිබඳ පොලිසියට උපදෙස් ලබා දී ඇත. මෙය සාමාන්‍ය රිය අනතුරක් නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මහ රාත්‍රියේ කඩිමුඩියේ කොට කලිසමක් ගසා ගෙන එම ස්ථානයට පැමිණියේ ඇයි? ඒ තුළම ඇත්තේ බරපතළ සැකයකි.

මෙය රිය අනතුරකින් සිදු වූ සාමාන්‍ය මරණයක් නම් මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තාජුඩීන්ගෙන් ලබා ගත් අස්ථි කොටස් අතුරුදන් කර දැමුවේ ඇයි? ඔහු විසින් තාජුඩීන්ගේ අතුරුදන් කරන ලද අස්ථි කොටස් මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බව පසුව අනාවරණය විය. 

මෙම අපරාධය සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ තාජුඩීන් මරණය රිය අනතුරක් නොව, සැක කටයුතු ඝාතනයක් බවය. එවිට එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස එවකට පොලිස්පතිව සිටි එන්.කේ. ඉලංගකෝන් විසින් 2015 පෙබරවාරි මස 16 වැනිදා රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව, සැකකටයුතු අබිරහස් මරණයක් බවට කරුණු අනාවරණය විය. ඒ ඔස්සේ වැඩිදුර කරුණු විමර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඝාතන කුමන්ත්‍රණයට සහයෝගය දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා පොලිස් පරික්ෂක සුමිත් පෙරේරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. වසරකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ පසු වූ ඔවුන්ට පසුව ඇප ලැබිණි.

මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ යටපත් කරමින් වැරදි තොරතුරු ඉස්මතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරද රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඔහු ඊට පෙර අධිකරණයට පෙත්සමක් ගොනු කරමින් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ නියෝගයක් ලබා ගැනිණි.

මේ වන විට අනාවරණය වෙමින් පවතින කරුණුවලට අනුව මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයට ඍජු වශයෙන්ම ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ වී ඇති බව ප්‍රකාශ වේ. ඇයගේ අනුදැනුම මත මෙම ඝාතනය සිදු කිරීම සඳහා යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන, අබේරත්න, සැම්සන් හා වන්නිආරච්චි යන නම්වලින් හඳුන්වන ඇයගේ ආරක්ෂක භටයන් කිහිප දෙනෙක්ද හවුල් වී ඇත. ඉන් දෙදෙනෙක් දැනට විදෙස්ගතව සිටින බවද ප්‍රකාශ වේ.

රහස් පොලිසිය පරීක්ෂණ පවත්වමින් මෙම ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති. තාජුඩීන් ඝාතනය වූ දා රාත්‍රී ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් කරන මෝටර් රථයක් පිළිබඳවද රහස් පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටිති. නිශ්චිත වශයෙන්ම ශිරන්ති රාජපක්ෂගේ අනුදැනුම මත සිදුව ඇති මෙම ඝාතනය පිළිබඳව දැනට කෙරී ඇති පරීක්ෂණවලට අනුව ඇයව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක්ද ඇත.

එහෙත්, රහස් පොලිසියට ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේනගේ එකතුවීමේ දේශපාලන හයිය මතය. මෙම ස්වභාවය පරීක්ෂණ කටයුතුවලට විශාල බාධාවක් වී ඇත. ඇයව අත්අඩංගුවට ගැනීමේ කරුණට ප්‍රශ්නයක් වී ඇත. මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වූයේ මිනීමරුවන්ට අපරාධකරුවන්ට දඬුවම් කරන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් බලය ලබා ගත් ඔහු අද අපරාධකරුවන් සමග යහන් ගත වෙමින් හැට දෙලක්ෂයක් ඡන්ද දායකයන් පාවා දී ඇත.

මේ හේතු කොට ගෙන තාජුඩීන් ඝාතනයේ සැබෑ මිනීමරුවන් තවමත් නිදැල්ලේ හැසිරීමට පටන් ගෙන ඇත. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ යසාරා අබේනායකගෙන්ද රහස් පොලිසිය කටඋත්තර ලබා ගෙන ඇත. රාජපක්ෂ පවුලෙන් එල්ල වූ තර්ජන හමුවේ ඇය මේ වන විට ඕස්ටේ්‍රලියාවට පැන ගොස් එහි ජීවත් වෙති. මේ වන විට යෝෂිත රාජපක්ෂගේ අලුත් පෙම්වතිය බවට පත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ දියණියයි.

යෝෂිත රාජපක්ෂ යසාරා අබේනායක සමග සබඳතා පවත්වන අතරතුර රත්වත්තේ දියණිය සමගද සබඳතා පවත්වා ඇති බව පැවසෙන කරුණු ඉස්මතු වීමත් සමග යසාරා හා ඔවුන් අතරද ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තාජුඩීන් ඝාතනයේ කරුණුද ඇයගෙන් පිට වී ඇත. එවිට එල්ල වූ තර්ජන හමුවේ යසාරා රාජපක්ෂ පවුලෙන් ඉවත් වී ජීවිතාරක්ෂාව පතා මෙලෙස ඕස්ටේ්‍රලියාවට ගොස් ඇති බව කියැවේ.

මේ අනුව, තාජුඩීන් ඝාතනය තවමත් සමාජය තුළ රැව් පිලිරැව් දෙමින් තිබියදී තවත් ඒ හා සමාන ඝාතනයක් පිළිබඳ කරුණු අනාවරණය වීමට පටන් ගෙන ඇත. ඒ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර ගෙනය. එනම්, මෛත්‍රීපාල සිරිසේන හා ජයන්ති සිරිසේනට දරුවන් තිදෙනෙකි. වැඩිමල් දරුවා චතුරිකා සිරිසේනය. දෙවැනියා ධරනි සිරිසේනය. තුන්වැනියා දහම් සිරිසේනය. මින් බොහෝ විට සමාජය තුළ කියැවෙන්නේ චතුරිකා සිරිසේන හා දහම් සිරිසේන ගැන පමණි. බොහෝ විට ධරනි සිරිසේන ගැන කිසිම කතාබහක් ඉස්මතු වන්නේ නැත.

නමුත් ධරනි සිරිසේන යනු මෛත්‍රීපාල සිරිසේනගේ දෙවැනි දියණියයි. විවාහ අසාර්ථක වීමකින් පසු දැනට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියැලී සිටින බව කියන ඇය නිසාද තරුණයෙක් අබිරහස් ලෙස ඝාතනයට ලක් වී ඇත. එනම්, ධරනි සිරිසේන පොළොන්නරුව මහා විද්‍යාලයේ ඉගෙන ගත් තරුණියකි. ඇය 1999 වන විට ඉගෙන ගනු ලැබුවේ පාසලේ නව වැනි ශ්‍රේණියේය. ඒ වන විට ඇය වානිජ්‍ය අංශයෙන් ඉගෙනුම ලැබූ චමින්ද මහානාම යනුවෙන් හඳුන්වන පාසල් සිසුවෙක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇත.

එය දෙපාර්ශ්වයේම නිවෙස්වලට හොර රහසේ යම් කාල පරිච්ඡේදයක් පවත්වාගෙන ගොස් ඇතත් පසුව මෙය නිවැසියන්ට දැන ගැනීමට ලැබී ඇත. මේ හේතු කොට ගෙන දැඩි ලෙස උරණ වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන පවුලය. එම නිසා මෙම සබඳතාව නවතන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇත. නමුත් එය එතරම් සාර්ථක වී නැත. පසුව මෙය කෙසේ හෝ නවතා දැමීම සඳහා සිරිසේන පාර්ශ්වය උත්සුක වී ඇති බව කියැවේ.

එනම්, දිනක් ධරනි සිරිසේන සිය පෙම්වතා වූ චමින්ද මහානාමට දුරකථන ඇමතුමක් ලබා දෙමින් හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගෙන ඇත. මෙය සිය නිවැසියන්ට දැන ගැනීමට ලැබී තිබේ. ඒ අනුව ඔහු ඇය හමුවීම සඳහා පැමිණෙන විට ඔහුට අනතුරක් සිදු කිරීමට සැලසුම් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් චමින්ද මහානාම එම ඇමතුමට අනුව ධරනි සිරිසේන හමුවීම සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පොළොන්නරුව නවනගරයට ඔබ්බෙන් පිහිටි වංගුවක් අසලදි එම යතුරුපැදියේ තවත් රථයක් ගැටීමට සලස්වා එම තරුණයාව ඝාතනය වීමට සලස්වා ඇත.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළද නිසියාකාරව ප්‍රතිකාර ලබා දීමට රෝහල් වෛද්‍යවරු අසමත් වී ඇති බව කියැවේ. ඊට හේතුව වී ඇත්තේ සිරිසේන පාර්ශ්වයෙන් එල්ල වූ බලපෑමකි. ඒ වන විට මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ මහවැලි සංවර්ධන ඇමැතිවරයාය. එම දේශපාලන හයියෙන් මෙහි පරීක්ෂණ කටයුතු නොපිට පෙරලා සාමාන්‍ය රිය අනතුරකින් මෙය සිදු වී ඇති බවට පොලිසියද උපයෝගී කර ගෙන යටපත් කර ඇති බවට මරණයට පත් වූ චමින්ද මහානාමගේ පාර්ශ්වය එල්ල කරන චෝදනාවකි. 

මෙම කරුණු අන්තර්ගතව මරණයට පත් වූ චමින්ද මහානාමගේ මව ඇඬූ කඳුළෙන් යුතුව අන්තර්ජාලයට හඬපටයක් නිකුත් කර ඇත. එම හඬපටය මගින් ඇය ප්‍රකාශ කර සිටින්නේ තම පුතාගේ මරණය සැලසුම් සහගතව සිදු වූ අබිරහස් ඝාතනයක් බවය. එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට ඇය විසින් එල්ල කරන චෝදනාවකි. මෙම චෝදනාව කිසිසේත්ම බැහැර කළ හැකි දෙයක් නොවේ. ඒ, මේ කරුණු අඩංගුව ජනාධිපතිවරයාව දෝෂදර්ශනයට ලක් කරන්නේ මිය ගිය තරුණයාගේ මව බැවිනි.

එසේ නම්, ශිරන්ති රාජපක්ෂලා පෙම් පලහිලව්වක් උපයෝගී කර ගෙන තාජුඩීන් ඝාතනය කළා සේ මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ධරනි සිරිසේනගේ ආදර සම්බන්දයක් හේතු කොට ගෙන චමින්ද මහානාමව ඝාතනය කළ බවක් එම මවගෙන් ප්‍රකාශ වී ඇත. තාජුඩීන් ඝාතනය සේම මෙම ඝාතනය සම්බන්ධයෙන්ද ඇත්ත නැත්ත සහ කරුණු සොයා බැලීම උදෙසා වහාම රහස් පොලිසියට පරීක්ෂණයක් පැවැත්විය යුතුය. තාජුඩීන් ඝාතනයට අද වන තුරුත් නිසි ලෙස යුක්තිය ඉෂ්ඨ වී නැත. 
එවැනි පරිසරයක් තුළ චමින්ද මහානාම සිද්ධිය පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්වූ සැණින් යුක්තිය ඉෂ්ඨ වේ යැයි පැවසීමට අපහසුය. නමුත් ඔහුගේ මව විසින් එල්ල කරන චෝදනාව පදනම් කර ගෙන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව දැන් මතු වී ඇත. අඩුතරමින් මේ පිටුපස ඇති ඝාතන අබිරහස හෝ හෙළිදරව් කර ගැනීම සඳහා එකී පරීක්ෂණය ඉවහල් වනු ඇත. එම නිසා හැකි ඉක්මනින් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව චමින්ද මහානාමගේ පවුලෙන් ඉස්මතු වී ඇති ප්‍රබල ඉල්ලීමකි.

[Ethalaya News]


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment