Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගාල්ලේ රත්තරං මන්ත්‍රී දැරියට දේවාලය ඇතුළේ අතවර කරලා.

මුළු රටම එකම ලේ විලක් බවට පත් කරමින් වසර ගණනාවක් පැවැති කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට අදත් සමාජය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි. ගෞරවයකි. එම නිසා ඔවුන්ට යම් කරදරයක් සිදු වුවහොත් ඔවුන් වෙනුවෙන් හඬ නැඟීම උදෙසා සමාජය තුළ යම් දේශපාලන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මකව පවතින බව බැලූ බැලූ අත පෙන්නුම් කරන දෙයකි. ඒ, රණවිරුවාට කිසිදු බාහිර උපද්‍රවයකින් තොරව ආරක්ෂා සහිතව සමාජය තුළ ජීවත් විය යුතු බවට හා ඔහුව රැකගත යුතු බවට ඉස්මතු වන ප්‍රවණතාවකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අඟුළුගහ, පිලාන, අන්නාසිගලකන්දේ පදිංචි චන්දන ජයශාන්තද කොටි ත්‍රස්තවාදය තුරන් කිරීම උදෙසා අභීත මෙහෙවරක යෙදුණු නාවික හමුදා රණවිරුවෙකි. කුඩා කල සිටම රට පිළිබඳව දැඩි ඇල්මකින් කතා බහ කර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඔහු සිය පාසල් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදාවට බැඳී රටේ ඒකීයභාවය උදෙසා කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිය මෙහෙවර දියත් කළ වීර පුත්‍රයෙකි.

තම යුතුකම නිසි ලෙස ඉටු කිරීමෙන් අනතුරුව ඔහු පසුකාලීනව නාවික හමුදාවෙන් සමුගත්තේය. ඉන් පසුව ඔහු අක්මීමන පිලාන හන්දියේ සැලූන් එකක් ඇරඹිණි. ඒ ‘සෙව්මින්දි’ සැලූන් යනුවෙනි. ඔහු දරුවන් සිව් දෙනකුගේ පියෙකි. බාලම දරුවාගේ වයස මේ වන විට අවුරුදු හතර හමාරක් පමණ වනු ඇත. ඇයගේ නම පේෂලා සෙව්මින්දිය. පවුලේ බඩපිස්සිය වශයෙන් කාගේත් ආදරය හිමි කර ගෙන සිටි ඇයගේ නමින් චන්දන ජයශාන්ත මෙම ‘සෙව්මින්දි‘ සැලුන් යනුවෙන් නම තමා එය විවෘත කෙරිණි.

එම සෙව්මින්දි දැරිය සුවිශේෂී තත්වයක පසු වූ තැනැත්තෙකි. එනම්, පවුලේ බාලයා වශයෙන් ඇය කිසියම් ආබාධ තත්වයකින් පසු විය. එනම්, ඉපදී ටික කලකට පසු ඇය කිසියම් රෝගයකට ගොදුරු වී ඇවිද යාමට නොහැකිව ආබාධිත තත්වයක් හේතු කොට ගෙන ඇඳට පමණක් ඇය සීමා වී සිටියාය. මේ නිසා මුළු පවුලේම අය ඇය කෙරෙහි දැක්වූයේ විශේෂ සැලකිල්ලකි. ආදරයකි. සෙනෙහසකි. සියලු දෙනාම ඇයගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි ඇල්මක්, බැල්මක් දැක්වීය. ඒ ඇය ආබාධිත තත්වය හේතු කොට ගෙන අසරණව සිටි බැවිනි.

එම දැරිය සුවපත් කිරීම සඳහා චන්දන ජයශාන්ත පියා හා පවුලේ සහෝදර, සහෝදරියන් නොගත් උත්සාහයක් නැත. ඉංග්‍රීසි සහ සිංහල වෙද හෙදකම් සඳහා නොයෙක් තැන්වල ඇයව රැගෙන යමින් සුවපත් කිරීමට කොතෙක් උත්සාහ දැරුවද එය තවමත් සඵල වී නැත. 2014 නොවැම්බර් මස 24 වැනිදා උපත ලබා ඇති එම දැරිය පත්වී ඇති අසරණ ස්වභාවය පිළිබඳ චන්දන ජයශාන්ත පියා සහ මව නිතර දෙවේලේ කතා බහ කරමින් තම දරුවා සුවපත් කිරීමට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළද ඒ කිසිදු දෙයකින් නිශ්චිත ප්‍රතිඵලයක් අත් කර ගැනීමට හැකියාව ලැබුණේ නැත.

මෙම දැරිය සුවපත් කිරීම සඳහා චන්දන ජයශාන්ත හා පවුලේ අය විශාල උත්සාහයක නියැලෙන බව අක්මීමන, පිලාන ගම්වාසීන්ද දැනගෙන සිටියෝය. ගම්වාසීන්ද තම තමන්ට පුළු පුළුවන් ආකාරයට ඇයගේ ලෙඩ රෝගය සුවපත් කිරීමට විවිධ සහයන් පළ කෙරිණි. ඒ අතර සිටි එක් අයෙකු වන්නේ හේමසිරි රත්නායකය. ඔහු හෝටල් පිරිසිදු කරන්නෙක් වශයෙන් රැකියාව කරනු ලැබීය. දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින ඔහු චන්දන ජයශාන්තගේ ආබාධිත දරුවා වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ක්‍රියා කළ තැනැත්තෙකි.

දිනය 2019 පෙබරවාරි මස 22 වැනිදාය. එදින හේමසිරි රත්නායක රැවුල කපා ගැනීම සඳහා චන්දන ජයශාන්තගේ අක්මීමන, පිලාන හන්දියේ පිහිටි ‘සෙව්මින්දි’ සැලූන් වෙත පැමිණියේය. එම අවස්ථාවේ චන්දන ජයශාන්ත සමග තම දරුවාගේ විස්තර කතා කිරීමටද හේමසිරි රත්නායක අමතක කළේ නැත. මෙහිදී හේමසිරි චන්දන ජයශාන්ත වෙත යම් යෝජනාවක් කළේය. එනම්, දරුවාගේ ආබාධය සුව කර ගැනීම සඳහා දේව පූජාවක් පැවැත්වීමය. ඒ සඳහා සුදුසු ස්ථානයක්ද තිබෙන බව හේමසිරි රත්නායක චන්දන සමග කතා බහ කරමින් පැවසුවේය.

චන්දන ජයශාන්තද දරුවා වෙනුවෙන් ඒ වන විට සෑම වෙදෙක් පසුපසම ගොස් වෙදකම් කර නිසි සුවයක් නොමැතිව දැඩි කායික හා මානසික අපහසුතාවකින් පෙළුනෝය. එවැනි පරිසරයක් තුළ හේමසිරි රත්නායක කළ ප්‍රකාශය යම් පිබිදීමක් ඇති වී ඔහුගේ කීමට අනුව දේව පූජාවක් කිරීමටද චන්දන ජයශාන්ත කැමැති වූයේ ඉන් හෝ සිය දරුවාට සුවයක් ලැබෙන්නේ නම් එයත් මහඟු සත්කාරයක් යනුවෙන් සිතමිනි.
මෙහිදී හේමසිරි රත්නායක චන්දන ජයශාන්තට ප්‍රකාශ කර සිටියේ තමනුත් පූජාවක් සඳහා ගාල්ල, බටදූව, විෂ්ණු දේවාලයට යන බැවින් ඔහු සමග සිය දරුවාවද රැගෙන පැමිණෙන ලෙසය. ඒ අනුව කතා බස් කර ගැනීමෙන් පසුව 2019 පෙබරවාරි මස 22 වැනිදා සවස 5.30ට පමණ එම දේවාලයට යාම සඳහා දෙදෙනා කතිකා කර ගත්තෝය.

ඒ අනුව, වෙනදාට කලින් සිය සැලූන් එක වසා චන්දන ජයශාන්ත සිය ත්‍රිරෝද රථයෙන් නිවස වෙත ගියේ එම දේවාලයට යාමේ බලාපොරොත්තුවෙනි. නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන්ද ලකලෑස්ති කර ගෙන ත්‍රිරෝද රථයේ නැඟී පස්වරු 6.30ට පමණ ගාල්ල, බටදූව විෂ්ණු දේවාලය වෙත පැමිණියෝය. අක්මීමණ, අඟුළුගහ, පිලාන, අන්නාසිගල කන්දේ පදිංචිව සිටි චන්දන ජයශාන්ත කිලෝමීටර් හයක් පමණ මග ගෙවා ගෙන මෙම ගමන පැමිණියේය.

එසේ එම දේවාලය අසලට පැමිණෙන විට හේමසිරි රත්නායක වෙනත් ත්‍රිරෝද රථයකින් තවත් මිත්‍රයන් දෙදෙනකු සමග එම දේවාලය වෙත පැමිණ සිටියෝය. ඒ හිච්චි පුතා හෙවත් චමින්ද හා කළු අයියාගේ පුතා වන හමුදාවේ අයකුද සමගය. ඔවුන් සියලු දෙනාම දේවාලයට නියමිත වේලාවට පැමිණියද ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා එහි සිටියේ නැත. ඒ කපු මහතා වෙන කවුරුවත් නොව මුළු රටම දන්නා කියන හඳුනන සුප්‍රසිද්ධ චරිතයකි. ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ ‘රත්තරං’ යනුවෙනි.

කාලයක් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රත්තරංගේ සැබෑ නම ක්‍රිෂාන්ත පුෂ්පකුමාරය. කවි කීමටද උපන් හපන් කම් ඇති මෙම ‘රත්තරං’ පසුව දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ සමග යම් යම් ආරවුල් ඇති කර ගෙන එම පක්ෂයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් ඔහුගේ ආණ්ඩුවට එකතු විය. ඉන් පසුව පැවැති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත් විය.

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රබලයකු ලෙස ක්‍රියා කරන ඔහු මහින්ද රාජපක්ෂ හිතවාදියෙකි. අණවිණ, කොඩිවිණ, හූනියං, බලි, තොවිල්, වස්, දොස් දුරු කරමින් පුදපූජා පවත්වන දේවාල කපුවකු ලෙස ප්‍රසිද්ධව සිටින රත්තරං හෙවත් පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාරගේ සුප්‍රසිද්ධ දේවාලය පිහිටා ඇත්තේ ගාල්ල, බටදූව ප්‍රදේශයේය. එය හඳුන්වනු ලබන්නේ ‘බටදූව විෂ්ණු දේවාලය’ යනුවෙනි. සමහර උදවිය එය ‘රත්තරංගේ දේවාලය’ යනුවෙන්ද හඳුන්වනු ඇත.

මෙම විෂ්ණු දේවාලයට හේමසිරි රත්නායක හා චන්දන ජයශාන්ත ඇතුලු පිරිස පැමිණ සිටියද දේවාලයේ ප්‍රධානියා වූ රත්තරං නොසිටීම තුළ ඔහු එනතුරු මොවුන්ට රැඳී සිටීමට සිදු විය. එම අවස්ථාවේ එහි සිටියේ ආවතේව වැඩ කරන දේවාලයේ මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයකු පමණි. ස්වල්ප මොහොතකට පසු ත්‍රිරෝද රථයකින් රත්තරංගේ මවද එතැනට පැමිණියාය. රත්තරංගේ පියා ඒ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී සිටියේ රෝහල්ගතවය.

මෙම දේවාලයේ ඕනෑම අයකුගේ ඕනෑම රෝගයක් පුද පූජා පවත්වා අණ විණ, කොඩිවිණ තොවිල් බයිල් මගින් සුවපත් කරන බව ප්‍රචලිත වුවද දේවාලයේ ප්‍රධානියා වූ ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංගේ පියා දියවැඩියා රෝගයට ගොදුරු වී රෝහල් ගත වී ප්‍රතිකාර ලැබීමට සිදු වුවද ඔහුව සුව කර ගැනීමට එම දේවාලයේ පුද සත්කාර බලපුළුවන්කාර වී නැත. අනුන්ගේ ලෙඩ සුව කරන බවට පම්පෝරි ගැසුවද තමන්ගේ පියාගේ රෝගය සුව කර ගැනීමට රෝහල් ගත කිරීමට රත්තරංට සිදු වී ඇති බව මින් පෙනේ. එයින්ම දේවාලයේ ඇති හාස්කම්වල ස්වභාවය කෙසේද යන්න සිහිබුද්ධිය ඇති මිනිසකුට සිතා ගැනීමට නොහැකිවීම අරුම පුදුම දෙයකි.

බොහෝ වේලාවක් හේමසිරි රත්නායක, චන්දන ජයශාන්ත ඇතුළු පිරිස රත්තරං පැමිණෙන තුරු බලා සිටියද එන්න එන්නම ඔහුගේ පැමිණීම ප්‍රමාද විය. එම අවස්ථාවේ හේමසිරි රත්නායන සිය ජංගම දුරකථනයෙන් රත්තරංගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබා ගත්තද ඒ කිසිම ඇමතුමකට ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. ඉන් දැඩි ලෙස අමනාපයට පත්ව සිටි හේමසිරි රත්නායක එම ස්ථානයේ සිටිමින් රත්තරංට විවිධ වචන ප්‍රකාශ කරමින් දෝෂාරෝපණය කරන්නටද විය.

“මූට තවත් ගෑණියෙක් හා දරුවෙක් ඉන්නවා. එහේ ගිහිල්ලා ඇති. ඒකයි ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නැත්තේ. මූට ඉතිං ගෑණු හතර වටේටමනේ.” යනුවෙන් තවත් බොහෝ දේවල් කියමින් හේමසිරි හඬ තලන්නට විය. එසේ කාලය ගත වෙමින් තිබියදී රාත්‍රී අටට පමණ රත්තරං සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණියේය. නමුත් ඔහු දේවාලයට පැමිණියේ නැත. ඔහුගේ නිවස තිබෙන්නේ ඒ ආසන්නයේමය. තට්ටු දෙකකින් හෙබි සුඛෝපභෝගී මන්දිරයක් වූ එය දේවාලයේ මුදල්වලින්ම ගොඩනැඟූ එකක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

ඔහු සිය නිවසට ගියද බොහෝ වේලාවක් එහි ගත කරනු පෙනිණි. දිගින් දිගටම ඔහු දේවාලයට ඒම ප්‍රමාද වීම නිසා පැමිණ සිටි පිරිසද දැඩි නොසන්සුන් තත්වයකින් පසු විය. ඉන් පසුව රාත්‍රී 8.45ට පමණ රත්තරං දේවාලයට පැමිණියේය. ඔහු පැමිණි පසු කෙසෙල් ගෙඩි කිහිපයක් ගෙන පැමිණ සිටි සියලු දෙනාට කෑමට ලබා දුන්නේය.

ඉන් ස්වල්ප මොහොතකට පසු රත්තරං හේමසිරි රත්නායක දේවාලය ඇතුළට ගෙන ස්වල්ප මොහොතක් කතා බහ කර ඊට පසු චන්දන ජයශාන්තගේ පවුලේ අයව දේවාලය ඇතුළට ගෙන්වා ගත්තේය. ඒ ඇතුළේ ඔවුන්ව වරින් වර මාරුවෙන් මාරුවට පුටුවල වාඩි කර පහනක් අල්ලා පරීක්ෂා කරමින් ඉන් පසුව රත්තරං ඔවුන්ට යම් උපදේශයක් ලබා දෙන්නට විය. ඔහු ප්‍රකාශ කළේ පවුලේ අයට ප්‍රේත හා යක්ෂ දෝෂයක් ඇති බවය. එය සුවපත් කිරීම සඳහා බෝධි පූජා තුනක් දේවාලය තුළ පැවැත්විය යුතු බවය.

ඊට අමතරව අඟහරුවාදා හා සිකුරාදා දිනවල ආබාධිත දැරිය හා වැඩිමල් දියණිය වෙනුවෙන් දෙහි කැපිය යුතු බවද ඔහු කීය. ඊට අමතරව සෙනසුරාදා දින කපුවන්ට දානයක් දිය යුතු බවද කීය. ඒ සියලු උපදෙස් දීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනාටම යළිත් එළියට යන ලෙස රත්තරං අණ කළේය. ඉන් පසුව හේමසිරි රත්නායකව යළිත් දේවාලය ඇතුළට ගත්තේය. ඉන් පසුව ඔවුහු මොන මොනවාදෝ කතා බහ කරන හඬ එළියේ සිටින අයට ඇසෙන්නට විය.

ඉන් පසු යළිත් චන්දන ජයශාන්තගේ පවුලේ අයව දේවාලය ඇතුළට ගෙන 16 හැවිරිදි ලොකු දියණියට හා ආබාධිත දියණියට යක්ෂ ප්‍රේත දෝෂයක් ඇති බැවින් එය ඉක්මනින් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කළේ ප්‍රමාද වුවහොත් බරපතළ තත්වයක් මතු විය හැකි බැවිනි. එබැවින් හෙට එනම්, පෙබරවාරි 23 වැනිදා දෙහි ගෙඩිත් රැගෙන ඒ සඳහා යළිත් දේවාලයට පැමිණෙන ලෙස ඔහු අණ කළේය. බෝධි පූජා පසුවට කර මුලින් දෙහි කැපීමට අණ කර පිරිස පිටත් කර හැරියේ පසුදින පැමිණෙන ලෙසය.

ඊට පසු පිරිස ත්‍රිරෝද රථයෙන් යළිත් නිවස කරා පැමිණෙන්නට වූවෝය. එලෙස එන විට එම ත්‍රිරෝද රථයේ හේමසිරි රත්නායකද පැමිණියේය. ඔහු ප්‍රකාශ කළේ සිය නිවසේ සුරයක් ඇති බැවින් එයද චන්දන ජයශාන්තට ලබා දිය හැකි බැවින් එය ගැනීමට මේ මොහොතේම සිය නිවසට යමු යනුවෙනි. එයට අවනත වූ චන්දන ජයශාන්ත ත්‍රිරෝද රථයෙන්ම හේමසිරි රත්නායක පදිංචි නිවසට ගියේය. එහෙත් ඔහුගේ බිරිඳ වූ ‘සුද්දි අක්කා’ ප්‍රකාශ කර සිටියේ එම සුරය නැති බවය. ඊට පසුව පිරිස හේමසිරි රත්නායකගේ නිවසින් තේ බී යළිත් සිය නිවස කරා ඒමට පිටත් විය.

එලෙස පැමිණෙන විට අක්මීමන මැළෑගොඩ හන්දියේ වෙළෙඳ සැලකට ගොස් පසු දින පූජාව සඳහා දෙහි ගෙඩි දහයක්ද මිල දී ගත්තේය. ඒවාද සූදානම් කර ගෙන යළිත් පෙබරවාරි 23 වැනිදා 6.20ට පමණ චන්දන ජයශාන්ත, සිය බිරිඳ, 16 හැවිරිදි වැඩිමල් දියණිය, ආබාධිත දරුවා සහ අනෙක් දරුවන් දෙදෙනාද සමගින් ගාල්ල, බටදූව, රත්තරංගේ විෂ්ණු දේවාලයට ගියෝය.

ඒ යන විටද රත්තරං දේවාලයේ සිටියේ නැත. ඊට පසු චන්දන ජයශාන්ත “මහත්තයා, මහත්තයා” යනුවෙන් කතා කරන විට ඒ හඬ ඇසී රත්තරංගේ බිරිඳ ඉදිරියට පැමිණ “මහත්තයා ඉන්නවා, තව පොඞ්ඩෙන් එවන්නම්. එතකං ඔහොම ඉන්න” යනුවෙන් කීවාය.

පසුව ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් බටදූව විෂ්ණු දේවාලයේ ප්‍රධානියා වූ රත්තරං වෙලාවට 6.45ත් 7.00ත් අතර සරමකින් සැරසී දේවාලයට පැමිණියේය. ඔහු කෙළින්ම ගියේ දේවාලය ඇතුළටය. එසේ ගොස් ස්වල්ප මොහොතකට පසු 16 හැවිරිදි වැඩිමල් දියණියට පැමිණෙන ලෙස ඔහු අණ කළේය. ඒ අනුව ඇය දේවාලය ඇතුළට තනියම ගියාය. එම දේවාලය තුළ විෂ්ණු දේවරූපයක් තිබිණි. තිර රෙදි දමා අවට කිසිවකුටත් ඇතුළේ සිදු වන්නේ කුමක්ද යන්න පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබිණි. ඇතුළත පැවැතියේ අන්ධකාර ස්වභාවයකි.

ඒ හෙයින් වැඩිමල් දියණිය එක පාරටම ඒ තුළට යාමට කිසියම් චකිතයක් ඇති විය. එබැවින් ඇයගේ තනියට චන්දන ජයශාන්තගේ බිරිඳද තම ආබාධිත දරුවා සමග දේවාලය ඇතුළට ගියාය. එම මොහොතේ “හා… හා… ඔයගොල්ලො එන්න එපා. ලොකු දරුවා විතරක් එවන්න. එයාට තියෙන්නේ ප්‍රේත දෝෂයක්. ඒකට අවශ්‍ය දේව මෙහෙයන් කරන විට ඕගොල්ලන්ටත් දොස් වදින්න පුළුවන්. ඒ නිසා වහාම එළියට යන්න.” යනුවෙන් රත්තරං එසේ ප්‍රකාශ කරමින් 16 හැවිරිදි වැඩිමල් දියණිය පමණක් දේවාලය ඇතුළේ රඳවාගෙන චන්දනගේ බිරිඳ හා ආබාධිත දරුවාව දේවාලයෙන් එළියට යැවීය.

ඉන් පසු වැඩිමල් දියණිය දේවාලය ඇතුළේ අඳුරේ තබා ගෙන ඇයගේ අතට දෙහි ගෙඩියක් ලබා දී එයට විවිධ යාග හෝම කියමින් ඇයගේ අඟ පසඟ හා පියයුරු අතගාමින් ඇයගේ රහස් පෙදෙසද ස්පර්ෂ කරමින් යම් ලිංගික අතවරයක යෙදෙන්නට විය. මෙම තත්වය එම දැරිවියට ඉවසා දරා ගැනීමට අපහසු විය. එම නිසා ඇය දේවාලයෙන් එළියට පැමිණීමට උත්සාහ කළද එයට රත්තරංගෙන් ඉඩක් ලැබුණේ නැත. එම වැඩකටයුතු අවසන් වීමෙන් පසු ඇයට එළියට පැමිණීමට අවස්ථාව ලැබිණි.

ඉන් පසු මාරුවෙන් මාරුවට චන්දන ජයශාන්ත, සිය බිරිඳ, ආබාධිත දැරිය හා අනෙක් දරුවන් දෙදෙනා රත්තරං දේවාලය ඇතුළට ගෙන දෙහි ගෙඩි අතට දී විවිධ පුද සත්කාර කරමින් යාග හෝම පවත්වන්නට විය. එම සිදුවීම්වලින් අනතුරුව ඔවුන්ව දේවාලයෙන් එළියට යැවීමට පියවර ගත්තද 16 හැවිරිදි දැරියව අවස්ථා හතරකදී වරින් වර දේවාලය ඇතුළට ගැනීමට රත්තරං පියවර ගැනිණි. ඊට හේතු වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ එම දැරිවියට දරුණු ප්‍රේත හා යක්ෂ දෝෂයක් ඇති බැවින් එය එක පාරටම සුව කිරීමට අපහසු බැවින් වරින් වර ගෙන එය සිදු කළ යුතු බවය. එම නිසා මෙලෙස ඇය වරින් වර දේවාලය ඇතුළට ගෙන ඇත.

එලෙස ගෙන ඔහු ඇයගේ අතට දෙහි ගෙඩි දී කපමින්, නූල් බඳිමින්, තැඹිලි වතුර බොන්න දී ඇයට බලගතු යක්ෂ ප්‍රේත දෝෂයක් තිබෙන බැවින් ඊට අදාළ දේව වැකි කියමින් තව තවත් ලිංගික අතවරයන්වලට එම දැරිවිය ලක් කර ඇත. මෙහිදී ඇය දරුණු වේදනාවට පත් වී අපහසුතාවෙන් පෙළී ඇත. ඇය කෑ ගැසීමට උත්සාහ කර ඇතත් එයටද බියෙන් පසු වී ඇත්තේ රත්තරං හැඩි දැඩි පුද්ගලයකු හා බලගතු අයෙකු බැවිනි.

චන්දන ජයශාන්ත හේමසිරි රත්නායකගේ කීමට අනුව එම දේවාලයට ගියේ සිය අවුරුදු හතර හමාරක් පමණ වන ආබාධිත දැරියට පූජාවක් පවත්වා ඇයව සුවපත් කිරීමේ අධිෂ්ඨානයෙනි. නමුත් අවසානයේ දේවාලයේ රත්තරං කපුවා වැඩි අවධානය යොමු කළේ, අවශ්‍ය පුද සත්කාර පැවැත්වූයේ එම දැරියට නොව, ඇයගේ වැඩිමල් අක්කා වූ 16 හැවිරිදි බාල වයස්කාර දැරියටයි. ඇය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලියා කාගේත් සිත් ගන්නා හැඩරුවක් සහිත දැරියකි.

එම නිසා රත්තරංගේ සිත ගියේ ඇයට අවශ්‍ය දේවාල පූජා ලබාදීමට වඩා තමන්ගේ පුද්ගලික කාම ආශාවන් ඉෂ්ඨ කර ගැනීමටය. ලෙඬේ ඇති දැරිය පැත්තක සිටියදී ප්‍රතිකාර කිරීමට මුවාවෙන් 16 හැවිරිදි දැරිය දේවාලය ඇතුළට අවස්ථා හතරකදී වරින් වර ගෙන ඇයට අතවර කළේ එබැවින් විය හැක. මේ ආකාරයට දේවාලයට පැමිණි තවත් දැරියන් කී දෙනකුට මෙවැනි සිදුවීම්වලට භාජනය වීමට සිදු වන්න ඇත්ද?

ඉන් පසු රත්තරං චන්දන ජයශාන්තට ප්‍රකාශ කර ඇත්තේ තවත් පූජාවක් උදෙසා 2019 පෙබරවාරි මස 25 වැනිදා උදේ 6.30ට පමණ සිය දේවාලයට පැමිණෙන ලෙසය. එයට එකඟතාව පළ කරමින් ඔවුන් දේවාලයෙන් පිට වී සිය පවුල සමග ත්‍රිරෝද රථයෙන් නිවස බලා ගියෝය. ඊට පසු දින යළිත් දේවාලයට පැමිණීම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කළද එම 16 හැවිරිදි දැරිය එම ගමනට කැමති වූයේ නැත. ඇය ප්‍රකාශ කර සිටියේ “අම්මලාට, තාත්තලාට ඕන නම් යන්න මම නම් ඔය දේවාලෙට ආයෙත් යන්නේ නෑ” යනුවෙනි.

මෙය මවට සහ පියාට මහත් ගැටලුවක් විය. ඒ ගැන ඇයගෙන් ඔවුහු ප්‍රශ්න කළද කිසිවක් ප්‍රකාශ කිරීමට ඇය ගියේ නැත. පසුව චන්දනගේ මව සිය දියණිය කාමරයට ගෙන “ඇයි ඔයාට යන්න බැරි? ඔයාට ප්‍රේත දෝෂයක් තියෙනවාලු. ඒ නිසා කොහොම හරි මේ පූජාවට යන්න ඕන. ඒක නිසා ලෑස්ති වෙන්න.” යනුවෙන් ඇවිටිලි කරන විට එම දැරිය තමන්ට දේවාලය තුළදී රත්තරංගෙන් අත් වූ ඉරණම පිළිබඳව සියල්ල එකිනෙක විස්තර කරන්නට වූවාය.

ඒත් සමග කිසිවක් සිතා ගත නොහැකිව ඇයගේ මව ඔළුවේ අත තියා ගනිමින් විස්මයෙන් යුතුව අසාගෙන සිටියේ මේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න අදහා ගත නොහැකිවය. මින් දැඩි කම්පනයට පත් මව මේ පිළිබඳව සිය ස්වාමි පුරුෂයා වූ චන්දන ජයශාන්තටද පවසා ඇත. එවිට ඔහුටද මේ ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත් වී ඇත. මේ ගැන තවදුරටත් කරුණු විමසීමේ අටියෙන් ඔහු සිය දියණිය තමන් ළඟට ගෙන්වා ගෙන ඉතාම ආදරයෙන් යුතුව “දුවේ ඔයාට මොකක්ද වුණේ? ඇත්ත කියන්න. මං ඔයාගේ තාත්තා. ඔයාට මගෙත් එක්ක කියන්න බැරි දෙයක් නෑ. ලැජ්ජ වෙන්න ඕන නෑ. ඔයා කියන්න.” යනුවෙන් චන්දන ජයශාන්ත ප්‍රකාශ කළ විට දැරිය තමන්ට රත්තරංගෙන් දේවාලය ඇතුළේදී සිදු වූ අතවරයන් එකිනෙක විග්‍රහ කරන්නට විය.

එමගින් චන්දනත්, බිරිඳත් දැඩි අසරණ තත්වයට පත් විය. ‘වඳින්න ගිය දේවාලය හිසේ පාත් වුණා’ යැයි යන සිතිවිල්ලක් ඔවුන්ගේ සිත් තුළ ජනිත වූයේ තමන් අවුරුදු 16ක් ඇස් දෙක මෙන් රැක ගෙන මලක් මෙන් පෝෂණය කළ සිය ආදරණීය වැඩිමල් දියණිය රත්තරං නමැති අවජාතක කපුවා අතින් අතවරයට ලක්වීමේ වේදනාව ඉවසා දරා ගත නොහැකිවය.

මින් දරුණු ලෙස වියරු වැටුණු චන්දන ජයශාන්ත කළ යුත්තේ කුමක්ද යන්න කිසිවක් සිතා ගත නොහැකිව ඔහු ඊළඟට කෙළින්ම කතා කළේ තමන්ව දේවාලයට සම්බන්ධ කළ හේමසිරි රත්නායකටය. එවිට චන්දන සියල්ල ඔහු වෙත ප්‍රකාශ කර ඇත. එය ඇසීමෙන් හේමසිරිද දැඩි විස්මයට පත් වී ඇත්තේ “මේ මොකක්ද යකෝ වෙලා තියෙන්නේ?” යනුවෙන් අදහාගත නොහැකිවය.

සියල්ල අසා ගැනීමෙන් අනතුරුව හේමසිරිටද හොඳටම කේන්ති ගොස් ඇත්තේ රත්තරංව මරා ගෙන කෑමේ දැඩි වෛර සහගත ස්වභාවයකිනි. හේමසිරි රත්නායක චන්දන ජයරත්නව එම දේවාලයට යොමු කර ඇත්තේ සැබැවින්ම දැරියගේ ආබාධය සුවපත් කිරීමේ සද්භාවයෙන් යුතුවය. එහෙත් මෙවැනි නරුම වැඩක් රත්තරං සිදු කළේ යැයි ඔහු කිසිම අවස්ථාවක විශ්වාස කර නැත. නමුත් දැන් විය යුතු සියල්ල සිදු වී හමාරය. ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න හේමසිරිටද කිසිවක් සිතා ගත නොහැකිව රත්තරං සමග දැඩි කේන්තියකින් පසු වූයේ ඉදිරි ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහිද සිත යොමු කරමිනි.

ඔහු මෙම සිදුවීම විමසීම සඳහා සිය ජංගම දුරකථනයෙන් රත්තරංට ඇමතුමක් ලබා ගෙන ඇත. එවිට ඔහු සිද්ධිය ප්‍රකාශ කරනවාත් සමග එය ස්වල්ප මොහොතක් අසා ගෙන සිටි රත්තරං හේමසිරිට ප්‍රකාශ කර ඇත්තේ “මම දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ ගෙදර. මහින්ද මහත්තයාත් සමග පොඩි සාකච්ඡාවක. පස්සේ කතා කරන්න හේමසිරි අයියේ” යනුවෙන් පවසා රත්තරං ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.

මෙය ඇසීමත් සමග රත්තරං දැඩි කලබලයට පත් වී ඇත්තේ වැඬේ පත්තු වී ඇති බව පසක් කරමිනි. එම අවස්ථාවේම ඔහු සිය ජංගම දුරකථනයෙන් මේ බව ඔහුගේ ලේකම් වූ ‘ජාගොඩ’ නමැත්තාට කතා කොට මෙම වැඬේ දුර දිග නොයවා ශේප් කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව පෙබරවාරි මස 24 වැනිදා පෙ.ව. 9.30ට පමණ ජාගොඩ හේමසිරි රත්නායකව හමු වීමට පැමිණියේය. ඔහු සමග කෙළින්ම චන්දන ජයශාන්ත හමුවීම සඳහා ඔහු සිටින ස්ථානයට ගොස් ඇත.

පසුව ජයශාන්ත තමන්ගේ දියණියට අත් වූ ඉරණම පිළිබඳ ජාගොඩට හා හේමසිරි රත්නායකට තවදුරටත් කරුණු පැහැදිලි කර දී ඇත. එම අවස්ථාවේ හේමසිරි රත්නායකද රත්තරං සමග පසු වී ඇත්තේ දැඩි කේන්තියකිනි. “අපිටත් දරුවො ඉන්නවා. මේ වගේ බලු වැඩ කරන්න හොඳ නෑ. මේක මහ තිරිසන් වැඩක්. රත්තරංට ගැලවෙන්න දෙන්න හොඳ නෑ. නීතියෙන් ගන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕන.” යනුවෙන් හේමසිරිද ජාගොඩගේ මූණටම ප්‍රකාශ කර ඇත.

නමුත් ඊට රත්තරංගේ ලේකම් වූ ජාගොඩ නමැත්තා එකඟ වී නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේකට විරුද්ධව පොලිසි නොයන ලෙසය. මේ ප්‍රශ්නය රත්තරං සමග කතා කර ගොඩින් විසඳා ගමු යනුවෙන් පවසා ඒ සඳහා තමා උපරිම මැදිහත්වීම් කරන බවද ඔහු කියා ඇත. එම නිසා රත්තරං සමග මේ පිළිබඳව සාකච්ඡා කර යළිත් පැමිණෙන බවත් එතෙක් පොලිසි නොයන ලෙසත් ජාගොඩ හේමසිරිට හා චන්දනට පවසා ඔහු පැමිණි යතුරු පැදියෙන් පිට වී ගොස් ඇත.

ඉන් පසුව හේමසිරි හා චන්දන මේ පිළිබඳව තවදුරටත් කතා කරමින් කළ යුත්තේ කුමක්ද යන්න අවධාරණය කරමින් සිටින විට හේමසිරි චන්දනට පවසා ඇත්තේ දැරියව වෛද්‍යවරයකු වෙත යොමු කර මේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය. ඒ අනුව ඔවුන් දෙදෙනා එකතු වී එම දැරිය අක්මීමන, කළහේ, සූරිය උයන ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය ශාන්ත කේ. කරුණාසිරි වෙත යොමු කර ඇත.

එම අවස්ථාවේ වෛද්‍යවරිය දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත. එහිදී වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ දැරිය යම් අකරතැබ්බකට ලක් වී ඇති බවය. සිදුවීම පිළිබඳව වෛද්‍යවරිය ඇයගෙන් සහ පියාගෙන් විමසීමක් කර ඇතත් ඔවුන්ට ඒ කෙරෙහි ඇත්ත තත්වය ප්‍රකාශ කිරීමට කිසියම් ලැජ්ජාවක් සහ මැලිකමක් ඉස්මතු වී ඇත. ඊට පසු වෛද්‍යවරිය දැරියට යම් අතවරයක් සිදු වී ඇති බව මූලික වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇත.

ඉන් ස්වල්ප මොහොතකට පසු යළිත් රත්තරංගේ ලේකම් වූ ජාගොඩ නමැත්තා චන්දන ජයශාන්තට කතා කරමින් හමුවීම සඳහා හේමසිරි රත්නායකගේ නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. ඊට එකඟ වූ ඔහු වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කර පැමිණෙමින් සිටි සිය දරුවන්ව ත්‍රිරෝද රථයෙන් නිවසට ඇරලවා ජාගොඩගේ ඉල්ලීමට අනුව හේමසිරිගේ නිවසට ගොස් ඇත. එවිට ජාගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අචින්ත සමග එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී ජාගොඩ හා අචින්ත හේමසිරි හා චන්දන හා සාකච්ඡාවේ නියැලෙමින් බලපෑම් එල්ල කර ඇත්තේ මොනම හේතුවක් මතවත් පොලිසි නොයන ලෙසය. නීතියට ගියහොත් වැඬේ දරුණු විය හැකි බැවින් යම් මුදලක් දී මෙය යටපත් කර ගැනීමට ජාගොඩ හා අචින්ත දැඩි උත්සාහයක නියැලී ඇත. යම් හෙයකින් නීතියට ගොස් රත්තරං අත්අඩංගුවට පත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරයත් නැති වී ලොකු අපවාදයකට ඔහු ලක්විය හැකි බව ජාගොඩ හා අචින්ත ප්‍රකාශ කර ඇත.
ජාගොඩ හා අචින්ත තවදුරටත් චන්දනට ප්‍රකාශ කර ඇත්තේ කොළඹ පුද්ගලික රෝහලකට යොමු කර දැරියගේ කන්‍යා පටලය යළි යථා තත්වයට පත් කිරීමට රත්තරං කැමැත්ත ප්‍රකාශ කර ඇති බවය. ඒ වෙනුවෙන් රුපියල් 75,000ක පමණ මුදලක් වැය වන අතර ඒ සියලු වියදම් රත්තරං දැරීමට සූදානම් බවද දැනුම් දී ඇත.

එපමණක් නොව, මෙය පොලිසි නොයවා, උසාවි නොයවා ගොඩින් බේරා ගැනීම සඳහා ලක්ෂ දහයක මුදලක් ලබා දීමට රත්තරං එකඟ වූ බවද ජාගොඩ දැනුම් දී ඇත. එසේම දරුවාගේ මුළු ජීවිත කාලයම බලා ගන්නා බවත් විවාහයට අවශ්‍ය සියලු විය පැහැදම් ඔහු දරන බවත් එහිදී දැනුම් දී ඇත. එම නිසා මොනම හේතුවක් මතවත් මෙය නීතියට නොයවා ගොඩින් බේරා ගත යුතු බවට ජාගොඩ හා අචින්ත චන්දන ජයශාන්තට බලපෑම් කර ඇත.

නමුත් මේ කිසිදු දෙයකට චන්දන ජයශාන්ත හෝ හේමසිරි රත්නායක එකඟ වී නැත. මෙම සාකච්ඡාව එම අවස්ථාවේ හොර රහසින් සිය ජංගම දුරකථනය හරහා පටිගත කිරීමටද හේමසිරි සූක්ෂ්ම වී ඇත. එවැනි දෙයක් එම අවස්ථාවේ සිදු වන බව ජාගොඩ හෝ අචින්ත නොව අඩු තරමින් චන්දන ජයශාන්තවත් දැන ගෙන සිට නැත. එම සාකච්ඡාව පටිගත කර එහි සී.ඩී. පටයක් පසුව හේමසිරි විසින් චන්දනට ලබා දී ඇත.
හේමසිරි මෙය චන්දන අතට දෙන විට ඔහු “මොකක්ද මේ සී.ඩී. එක” යනුවෙන් ප්‍රශ්න කර ඇත. එවිට හේමසිරි ප්‍රකාශ කර ඇත්තේ තමන් අදාළ සාකච්ඡාව හොර රහසේ පටිගත කළ බවය. ඉන් චන්දනද විස්මයට පත් වී ඇත. මින් පෙන්නුම් කෙරෙන්නේ හේමසිරිද රත්තරංගේ මේ පාදඩ ක්‍රියාව අනුමත නොකර ඊට එරෙහිව දැඩි ලෙස කටයුතු කරන එඩිතර මිනිසෙකු බවය. එලෙස බලන විට ඔහුව අපි කවුරුත් අගය කළ යුතුය.
මෙම සාකච්ඡාවෙන් පසු එනම්, පෙබරවාරි 25 වැනිදා පෙරවරු 9.30ට පමණ රත්තරංගේ ලේකම් වූ ජාගොඩ නමැත්තා යතුරුපැදියකින් චන්දන ජයශාන්ත සොයා ගෙන පැමිණ ඇත. එසේ පැමිණ ඔහු චන්දන අත රුපියල් 10,000ක් තබමින් මෙය දැනට තබා ගන්නා ලෙස රත්තරං ප්‍රකාශ කළේ යැයි ජාගොඩ ඔහුට දැනුම් දී ඇත. ඊට අමතරව ලක්ෂ දහයක මුදලක් දෙන බවටද ඔහු පොරොන්දු වී යළිත් එම ස්ථානයෙන් ගොස් ඇත්තේ මොනම හේතුවක් නිසාවත් පොලිසි හෝ උසාවි නොයන ලෙස චන්දනට දැනුම් දෙමිනි.

එම අවස්ථාවේ එහි චන්දන ජයශාන්තගේ බිරිඳද සිට ඇත. ඔහු ජාගොඩට එහිදී ප්‍රකාශ කර ඇත්තේ තම දියණියට සිදු වූ අතවරය සල්ලිවලින් තක්සේරු කළ නොහැකි බවය. ඊට ප්‍රතිචාර දක්වමින් ජාගොඩ ඇයට දැනුම් දී ඇත්තේ මෙම සිදුවීම දුරදිග නොගෙනයන ලෙසය. ලක්ෂ දහයක මුදලුත් රැගෙන එන බව පවසා ඔහු එතැනින් පිට වී ගොස් ඇත.
යළිත් පෙබරවාරි මස 26 වැනිදා ජාගොඩ හේමසිරිට කතා කර ඇත. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් පෝද්දල ප්‍රදේශයට යන බැවින් එසේ ගොස් එන අතරතුර චන්දන ජයශාන්තව හමුවීමට පැමිණෙන බැවින් සූදානමින් සිටින ලෙසය. ඒ අනුව, පෙ.ව. 11.30ට පමණ ජාගොඩ චන්දන හමුවීමට පැමිණ ඇත. එවිට ඔහු සමග හේමසිරිද සිට ඇත.

මෙම අවස්ථාවේදීද ජාගොඩ චන්දනට දැඩි බලපෑම් එල්ල කරමින් පොලිසි නොයන ලෙස උපදෙස් දී ඇත. මෙය තවදුරටත් ඉවසා දරා ගත නොහැකි වූ තැන එහි සිටි හේමසිරි රත්නායක සිය ජංගම දුරකථනයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට කතා කර ඇත. එහෙත් එය ප්‍රතිචාර දක්වා නැත. ඊට පසු 118 හදිසි ඇමතුම් අංකයට ලබා ගෙන ඇත. ඉන් ප්‍රතිචාර ලැබී ඇත. එවිට හේමසිරි රත්නායක දැරියට සිදු වූ අතවරය පිළිබඳව පැමිණිලි කර ඇත. ඉන් ස්වල්ප මොහොතකට පසු හබරාදූව පොලිසියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් චන්දන ජයශාන්තගේ නිවසට පැමිණ සිද්ධිය විපරම් කර ඇත.

ඉන් පසු එම පොලිස් නිලධාරීන්ටද මෙම දැරියට යම් අතවරයක් රත්තරංගෙන් සිදු වී ඇති බව කරුණු වැටහී තිබේ. එවිට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දැරියවත් රැගෙන වහාම හබරාදූව පොලිසිය වෙත පැමිණෙන ලෙසය. ඒ අනුව ඔවුන් හබරාදූව පොලිසිය වෙත ගියේය. නමුත් මෙම සිදුවීම සිදුවී ඇත්තේ අක්මීමන පොලිස් බලප්‍රදේශයේය. එම නිසා හබරාදූව පොලිසියට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපහසුය.
නමුත් එහි පොලිස් නිලධාරීන් මෙම සිද්ධියට මුහුණ පෑ දැරිය හා ඇගේ මව පොලිස් මෝටර් රථයේ දමා ගෙන ආරක්ෂා සහිතව අක්මීමන පොලිසියට රැගෙන ගොස් බාර දී ඇත. ඊට පසු එහි පොලිස් ස්ථානාධිපති නිරෝෂ් ධර්මසේන මෙම සිද්ධිය අසා ඔහුද විමතියට පත් වී ඇත. ඒ අනුව ඔහු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට කතා කර දරුවාගේ කටඋත්තරය සම්පූර්ණයෙන් ලියන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව සියල්ල සිදු වී තිබේ.

නමුත් එම ස්ථානයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නමැති මෙම අපචාර ක්‍රියාව සිදු කළ බටදූව විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපුවාගේ ගෝලයන් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අචින්ත, රත්ගම චන්දන, අකුරැස්ස ගාල්ල මාර්ගයේ නුගදූව ප්‍රදේශයේ පිහිටි ‘තරුෂි’ රෙස්ටුරන්ට් අධිපති රවි ඇතුලු කිහිප දෙනකු පැමිණ පැමිණිල්ල නොලියන ලෙස දැඩි බලපෑමක් දැරියගේ දෙමාපියන්ට සිදු කර ඇත.

ඔවුන්ගෙන් කිහිප දෙනකු පොලිස් ස්ථානය තුළටම පැමිණ මෙය ගොඩින් බේරා ගැනීමට සාකච්ඡා කර ඇත. එම අවස්ථාවේ අක්මීමන පොලිසියේ නිලධාරියෙක් “ඔයගොල්ලො එහෙනං ඕන දෙයක් කතා කර ගෙන වැඬේ විසඳා ගන්න” යනුවෙන්ද පවසා ඇත. එහෙත් නීතියෙන් පිට මෙය බේරා ගැනීමට දැරියගේ පවුලේ කිසිවකුත් කැමති වී නැත.
දැරියගේ කටඋත්තරය සම්පූර්ණයෙන් ලියා ගත් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලිස් නිලධාරීන් ඇයව කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත. එහිදී ඇයව වෛද්‍ය රොහාන් රුවන්පුර මාර්ගයෙන් එම පරීක්ෂණයට භාජනය කර එහිදී සනාථ වී ඇත්තේ යම් අතවරයකට ඇය ලක් වී ඇති බවය. එම පරීක්ෂණවලින් අනතුරුව රාත්‍රී 7.00ට පමණ ඔවුන් රෝහලෙන් පිට වී යළිත් රාත්‍රී 9.30ට පමණ සිය නිවසට පැමිණ ඇත.

මෙහිදී පොලිසිය ඔවුන්ට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 27 වැනිදා අක්මීමන පොලිසියට යළිත් පැමිණෙන ලෙසය. ඒ වැඩි දුර විභාගය සඳහාය. නමුත් 26 වැනිදා රාත්‍රී 10.00ට පමණ රත්තරංගේ ලේකම් වන ජාගොඩ සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රී අචින්ත, චමින්ද හා රවි යන ගෝලයෝ සමග චන්දනගේ නිවසට කඩා වැදී වහාම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස ඔවුන්ට බලපෑම් කර ඇත. නමුත් මොනම හේතුවක් මතවත් පැමිණිල්ල ඉල්ලා අස් කර නොගන්නා බව චන්දන ජයශාන්ත දැඩිව ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවේ එහි සිටි ඉමදූව, තරුෂි රෙස්ටුරන්ට් අධිපති රවි නැමත්තාගේ ජංගම දුරකථනයට රත්තරං කතා කර ඇත. එවිට එම ඇමතුම හා සම්බන්ධ වෙමින් කතා කරන ලෙස චන්දන ජයශාන්තට ලබා දී ඇත. එහිදී දුරකථන මාර්ග ඔස්සේ රත්තරං චන්දනට පවසා ඇත්තේ “තමන්ගේ අතින් යම් වරදක් වුණා. මට සමාවෙන්න. මම සල්ලි දෙන්නම්. මේක වැඩිදුර ගෙන යන්න එපා. මටත් අනාගතයක් තියෙනවා. ඔයා පොලිසි ගියොත් මගේ අනාගතේ නැති වෙනවා. මගේ දරුවන්ටත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා. ඒ නිසා මේක නීතියට නොගොස් ගොඩින් බේර ගමු” යනුවෙන් දැනුම් දී ඇත.

එම අවස්ථාවේ චන්දන ජයශාන්තටද හොඳටම කේන්ති ගොස් ඇත. එහිදී ඔහු රත්තරංට දැඩි දෝෂ දර්ශනයෙන් කතා කරමින් “ඔයා ඔයාගේ දරුවො ගැන කතා කරනවා. ඔයා මගේ දරුවා නැති කරලාද එහෙම කතා කරන්නේ? ඔයා තාත්තා කෙනෙක්ද? ලැජ්ජ නැද්ද? මේ වගේ බලු වැඩ කරන්න.” යනුවෙන් දැඩි ලෙස බැණ වැදී ජංගම දුරකථනය චන්දන යළිත් රවි අතටදී ඇත.

එම ප්‍රයත්නයද අසාර්ථක වූ තැන ඔවුන් නිවසින් පිට වී ගොස් ඇත. ඊට පසු දින එනම්, පෙබරවාරි මස 27 වැනිදා අක්මීමන පොලිසියට යාම සඳහා චන්දන ජයශාන්ත ත්‍රිරෝද රථයෙන් නිවසින් පිට වී ඇත්තේ සිය බිරිඳ හා අතවරයට ලක් වූ දරුවා සහ පවුලේ අය සමගය. එසේ ටික දුරක් යන විට ඔහුගේ දුරකථනයට රත්තරංගේ ගෝලයකු වන රවිගෙන් ඇමතුමක් ලැබී ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ රෙස්ටුරන්ට් එක ළඟට මේ පිළිබඳව තව සැරයක් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසය.
මුලින් මීට එතරම් එකඟතාවක් චන්දන ජයශාන්ත නොදැක්වුවද ඔහුගේ දැඩි පෙරැත්ත කිරීම හමුවේ එම ස්ථානයට යාමට තීරණය කෙරිණි. ඒ අනුව, පවුලේ අය සමගම අකුරැස්ස ගාල්ල මාර්ගයේ නුගදූව හන්දියේ පිහිටි රවිට අයත් ‘තරුෂි’ රෙස්ටුරන්ට් එක අසලට ඔවුහු ගොස් ඇත. එහිදී එතැන අචින්ත, ජාගොඩ, ෆොටෝ මල්ලි, මැනේජර් මහත්තයා ඇතුළු කිහිප දෙනෙක් සිට ඇත.

ඔවුහු චන්දන ජයශාන්ත ඇතුළු පවුලේ අයට බලපෑම් කරමින් යළිත් ප්‍රකාශ කර ඇත්තේ පොලිසි නොයන ලෙසය. කටඋත්තරය ඉල්ලා අස් කර ගන්නා ලෙසය. නමුත් ඒකට ඔවුහු කැමති වී නැත. එවිට එහි සිටි ජාගොඩ චන්දනට ප්‍රකාශ කර ඇත්තේ රත්තරං මන්ත්‍රීතුමා රවිගේ රෙස්ටුරන්ට් එකේ සිටින බැවින් ඔහුව හමුවන ලෙසය. ඒත් සමගම රත්තරං රෙස්ටුරන් එකේ සිට එළියට පැමිණෙමින්, “අනේ බුදු චන්දන මල්ලියේ මාව බේර ගනිං. වෙච්ච දේට සමා වෙයන්. උඹ කියන ඕන දෙයක් මම කරන්නං. පොලිසි නං යන්න එපා. පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිං” යනුවෙන් ප්‍රකාශ කරමින් චන්දන ඉදිරියේ ඔහු වැඳ වැටෙන්නට විය.

ඉන් දැඩි කෝපයට පත් චන්දන පැනපු හැටියේ රත්තරංගේ කණට ‘චටාස්’ යනුවෙන් පහරක් එල්ල කළේ තම ආදරණීය දරුවාට බලු වැඩක් කර සමාවත් ගැනීමට එන කාලකන්නි තිරිසනෙක් යන සංකල්පයෙන් යුතුවය. පහර කාගෙන ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ රත්තරං තවදුරටත් වැඳ වැටුණේ පොලිසි නොයන ලෙසය. එහෙත්, චන්දන ප්‍රකාශ කළේ දැන් පොලිස් පොතේ මෙය සටහන් වී ඇති බැවින් අපට කළ හැකි දෙයක් නැති බවය.

ඊට පසු රත්තරංගේ ලේකම් ජාගොඩ ප්‍රකාශ කළේ “ඕ.අයි.සී. මහත්තයා අපි අඳුනනවා. අපට ඕන දෙයක් කර ගන්න පුළුවන්. අපිට ඕන ඔය ගොල්ලන්ගේ කැමැත්ත විතරයි” යනුවෙනි. ඒ සමග “අපි දන්න නීතිඥ මහත්තයෙක් ඉන්නවා. ඔහුව අපි ගිහින් හම්බ වෙලා මේ ගැන කතා කරමු” යනුවෙන් ප්‍රකාශ කරමින් පිරිස චන්දන ජයශාන්ත ඇතුළු පවුලේ අයට දැඩි බලපෑමක් එල්ල කර ඔවුන්ව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥ විමලරත්න මාපලගම නමැත්තාගේ ළඟට රැගෙන ගොස් බලෙන් මෙන් දිවුරුම් ප්‍රකාශයකට දැරියගෙන්, මවගෙන්, පියාගෙන් අත්සන් ලබා ගත්තේ දැරියට රත්තරංගෙන් කිසිදු අතවරයක් සිදු වී නැති බවට ප්‍රකාශ කරමිනි.

ඊට පසු විමලරත්න මාපලගම නිතිඥවරයා තම කණිෂ්ඨ නීතිඥයකු වන චතුරංග අමරතුංගට එම දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් ලබා දෙමින් චන්දන ජයශාන්ත හා පවුලේ අය සමග ගොස් එම දිවුරුම් ප්‍රකාශය අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබා දෙන ලෙස පවසමිනි. ඒ අනුව එම කණිෂ්ඨ නීතිඥවරයා පවුලේ අය සමග අක්මීමන පොලිසියට ගොස් එහි ස්ථානාධිපතිවරයා වෙත මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇත.

එය කියවා බැලීමත් සමග පොලිස් ස්ථානාධිපතිවරයාද අන්දමන්ද වී ඇත. “දැන් අපි පැමිණිල්ල ලියලා තියෙන්නේ. අපිට කරන්න දෙයක් නෑ. මෙතන සිද්ධියක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා එක එකාට බය වෙලා වැඩ කරන්න බෑ. නඩු කියලා ඔයගොල්ලෝ බේරගන්න ඕන දෙයක්. මට අනවශ්‍ය ප්‍රශ්නවලට අත දාලා අමාරුවේ වැටෙන්න බෑ.” යනුවෙන් ප්‍රකාශ කරමින් එම දිවුරුම් ප්‍රකාශය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව චන්දන ජයශාන්ත හා ඔහුගේ බිරිඳගෙන්ද පොලිසිය මේ පිළිබඳ කටඋත්තර ලබා ගැනිණි. පසුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්නද මෙම සිද්ධියේ හේමසිරි රත්නායක ගෙන්වා ඔහුගෙන්ද කටඋත්තර ගෙන ඇත. දැරියව වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ ශාන්ත කේ. කරුණාසිරිගෙන්ද කටඋත්තර ලබා ගෙන ඇත.
පසුව අක්මීමන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් ඇතුලු පිරිසක් රත්තරංගේ විෂ්ණු දේවාලයට ගොස් සිද්ධිය සිදු වූ දේවාලය පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී හැඟී ගොස් ඇත්තේ සම්පූර්ණයෙන්ම දැරියට අතවර සිද්ධිය සිදු වන විට තිබූ තත්වයට වඩා දේවාලය වෙනස් කර ඇති බවය. එනම්, දේවාලයේ අඳුර වැටීමට දමා තිබූ තද ගණකම තිරරෙදි ඉවත් කර පිටතට පෙනෙන ආකාරයේ දැල් දැල් තිර රෙදි දමා තිබිණි. ඇතුළේ අඳුරුගතියද මග හරින ලෙස පහන් පත්තු කර තිබිණි.

ඉන් රත්තරං උත්සාහ කර තිබුණේ දේවාලය ඇතුළේ යම් සිද්ධියක් සිදු වූයේ නම් එම තිර රෙදිවලින් එළියේ සිටින අයට පෙනෙන බව හැඟෙන ආකාරයටය. යම් අතවරයක් සිදු නොවුණේ නම් මෙවැනි තිර රෙදි වෙනස් කිරීමට රත්තරංට අවශ්‍ය නැත. තිබුණු ස්වරූපයෙන්ම පොලිසිය පැමිණෙන විටත් තබා තිබීමට හැකියාව තිබිණි. එසේ නොකර තිර රෙදි වෙනස් කිරීම තුළම පෙන්නුම් කෙරෙන්නේ ඒ තුළ යම් අසික්කිත කරුණු කාරණා තොගයක් සිදු වී ඇති බවය.

පසුව පිරිස යළිත් අක්මීමන පොලිසියට ගොස් ඇත. එවිට ඒ අසල රත්තරංගේ ගෝලයන් වන අචින්ත, රවි, චමින්ද, මැනේජර් යන අයද සිට ඇත. ඔවුන් චන්දනට බලපෑම් කිරීමට මෙන් “හරි අපි උසාවියේදි බලා ගමු” යනුවෙන් පවසා ඇත. පොලිසිය ඇතුළට චන්දන යන විට ඔහුට දැක ගැනීමට හැකි වූයේ පුදුම සහගත දෙයක්ය.

එනම්, පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සමග මෙම දැරියට අතවර කළ රත්තරං සාකච්ඡා කරමින් සිටින අයුරු දැක ගත හැකි විය. එහිදී කුමන දේවල් සාකච්ඡා වූවාද යන්න පැහැදිලි නැත. ඉන් ස්වල්ප මොහොතකට පසු හේමසිරි රත්නායක විසින් පටිගත කරන ලද සී.ඩී. තැටිය පොලිස් පරීක්ෂක වික්‍රමරත්නට ලබා දී ඇත. පුදුම සහගත සිද්ධිය වන්නේ ඊට පසු චන්දන ජයශාන්තට දැන ගැනීමට ලැබී ඇත්තේ එම සී.ඩී. පටයෙන් පිටපතක් රත්තරංගේ අතට පත් වී ඇති බවය.

එය සිදු වූයේ කෙසේද? දැරියට සිදු වූ අතවර සිද්ධිය පොලිසියෙන් වළක්වා ගැනීම සඳහා රත්තරංගේ ලේකම් ජාගොඩ නමැත්තා චන්දනගේ නිවසට පැමිණ බලපෑම් කිරීමේදී ඊට අදාළ සිදුවීම පටිගත කළේ හේමසිරි රත්නායක සිය ජංගම දුරකථනයෙනි. එය සාක්ෂියක් වශයෙන් පොලිසියට දුන් විට එහි පිටපතක් රත්තරං අතට පත්වීම තුළින්ම පෙන්නුම් කෙරෙන්නේ පොලිසිය මතුපිටින් ශුද්ධවන්ත ආකාරයෙන් ක්‍රියා කළත් යටින් රත්තරංට උදව් කරන බවය.

මෙම සී.ඩී. පටය ඉලක්ක කර ගෙන රත්තරංගේ ලේකම් වන ජාගොඩ නමැත්තා හේමසිරිට එරෙහිව හබාරාදූව පොලිසියේ ඉන් පසුව පැමිණිල්ලක් කර ඇත. ඉන් ප්‍රකාශ කර ඇත්තේ හේමසිරි රත්නායක තමන්ව ඔහුගේ නිවසේ බලහත්කාරයෙන් සිරකර තබා ගෙන සිටි බවය. ඒ හරහා බලෙන් මෙම ප්‍රකාශයක් පටිගත කර ගත් ස්වභාවයක් ඉන් පෙන්නුම් කරනු ඇත.

මෙම සිදුවීම් ජාලයෙන් පසු යළිත් රත්තරංගේ ගෝලයෙක් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අචින්ත චන්දන ජයශාන්ත සොයා ගෙන පැමිණ ඇත. එහිදී යළිත් ඔහු චන්දනට බලපෑම් එල්ල කරමින් මෙම ප්‍රශ්නය දුර දිග නොගොස් බේර ගමු යනුවෙන් ඇවිටිලි කර ඇත. එපමණක් නොව, ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙවැනි සිද්ධියක් සිදු වී නොමැති බවත් එය සමාජය තුළ පැතිරී යන අමූලික බොරුවක් බවට ප්‍රකාශ කරන ලෙස අචින්ත චන්දන ජයශාන්තගෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් ඒ කිසිදු දෙයකට චන්දන එකඟ නොවුණු තැන අචින්තට හිස් අතින් යාමට සිදු වී ඇත.

චන්දන සහ පවුලේ අයට දිගින් දිගටම රත්තරංගේ පාර්ශ්වයෙන් බලපෑම් එල්ල වන විට ඔහු මේ පිළිබඳ සිය දියණිය හා බිරිඳ සමග සාකච්ඡා කර ඇත. එවිට දියණිය ඍජු ලෙසම සිය පියාට ප්‍රකාශ කර ඇත්තේ “මට දැන් වෙන්න ඕන ටික වුණා. හැබැයි තාත්තේ තවත් කෙනෙකුට මට වෙච්ච දේ වෙන්න ඉඩ තියන්න එපා. ඒක නිසා මේ බල්ලාට විරුද්ධව අපි ගන්න පුළුවන් ඉහළම දේ ගමු” යනුවෙනි.

ඊට පසු චන්දන ඇතුළු පවුලේ අය මෙය නීතියෙන්ම බේරා ගැනීමට තීරණය කෙරිණි. ඒ අනුව තවදුරටත් චන්දන පවුලට බලපෑම් කර තේරුමක් නැති බව වැටහී ගිය පසු රත්තරං අක්මීමන පොලිසියට පැමිණ බාර විය. ඔහුව එම මොහොතේම ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ඔහුව ඇප මත නිදහස් කර යැවීමට අධිකරණය පියවර ගැනිණි.

වයස අවුරුදු 16ක බාල වයස්කාර දැරියක් මෙලෙස අතවරයකට ලක් කිරීමට ක්‍රියා කිරීම බාල අපචාරයක් ලෙස හැඳින්වෙනු ඇත. එය අපරාධමය චෝදනාවකි. එවැනි අයකුට ඇප දීමේ හැකියාවක් නැත. එසේ නම් එවැනි ස්වභාවයක් තුළ අතවර චෝදනාවක් එල්ල වී අධිකරණයට ඉදිරිපත් කළ රත්තරංට ඇප ලැබුණේ කෙසේද?

මෙය අධිකරණයේ විශ්වාසය පිළිබඳව පවා සමාජයේ දැඩි කතා බහට ලක් වූ කරුණකි. සාමාන්‍ය අතවර සිදුවීමකදී පවා සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කිරීමේ ස්වභාවයක් තුළ ප්‍රබල දේශපාලන බලයක් හිමි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංට මෙම ලිංගික අතවර චෝදනාව එල්ල වී තිබීම තුළ ඔහුට ඇප ලබා ගැනීම හරහා පෙන්නුම් කළේ බලවත් පුද්ගලයන්ට එක නීතියකුත් සාමාන්‍ය පුද්ගලයන්ට ඊට වෙනස් නීතියකුත් ක්‍රියාත්මක වන සමාජයක් තිබෙන බව නොවේද?

අද වන විට මෙම රත්තරං බේරා ගැනීම සඳහා අධිකරණය තුළද නීතිඥයන් විශාල පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී සිටිති. එහෙත් මෙම අතවර සිද්ධියට ලක් වූ දැරිය වෙනුවෙන් පෙනී සිටීමට අද වනතුරුත් කිසිදු නීතිඥයෙක් ඉදිරිපත් වී නැත. මෙය මොන තරම් කාලකන්නි තත්වයක්ද? මාකඳුරේ මධුෂ් ඩුබායි රටේ කුඩු සමග අත්අඩංගුවට පත් වූ විට ඔහුව බේරා ගැනීම සඳහා ලංකාවෙන් නීතිඥයෝ දණි පනි ගා ගිය කල ලංකාවේ දැරියක් බලවතකුගෙන් අනාථ වූ විට ඇය වෙනුවෙන් ඉදිරිපත් වීමට නීතිඥයෙක් නොමැත්තේ ඇයි? මෙය මොන තරම් ශෝචනීය ස්වභාවයක්ද?

නීතිඥයෙක් වෙනුවෙන්වත් නිසි මුදලක් වියදම් කිරීමට දැරියගේ පවුලට හැකියාවක් නැත. ඔවුන් ආර්ථික වශයෙන් පසු වන්නේ බොහොම අඩු පීඩන තත්වයක් තුළය. එවැනි ස්වභාවයක් තුළ අඩු තරමින් මේ කෙරෙහි හෝ සලකා බලා සැලකිය යුතු නිතිඥවරු පිරිසක් එම දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට එම නඩුව ඉතාමත් නිවැරදි ආකාරයට පවත්වාගෙන යමින් චූදිතයාට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නේ නම් එය මොන තරම් මහඟු දායාදයක්ද යන්න හිතක් පපුවක් යුක්තිගරුකභාවයක් ඇති නීතිඥයන් අපේ රටේ සිටී නම් ඒ ගැන සිතා ගැනීම මොන තරම් අගේද?

පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නම් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය අමූලික බොරුවක් බවය. තමන්ට මඩ ගැසීම සඳහා කිසියම් පාර්ශ්වයක් ගෙතූ කතාවක් බවය. මොන මඩ ප්‍රහාර එල්ල කළද තමන්ගේ දේශපාලන ගමන අඩාල කළ නොහැකි බවය. ඔහු කියන ආකාරයට මෙය අමූලික බොරුවක් නම් අතවරයට ලක් වූ බව කියන දැරියගේ පවුලේ අය හමු වී ඔවුන්ට ලක්ෂ දහයක් ලබා දෙන බවට පොරොන්දු වී එය යටපත් කරන ලෙස ඉල්ලා සිටියේ ඇයි? සිද්ධිය බොරුවක් නම් රුපියල් 10,000ක් ගෙදරට ගොස් ඇයගේ පියාට දුන්නේ ඇයි? පොලිසි නොයවා, ගොඩින් බේරා ගමු යනුවෙන් ගෝල බාලයින් දමා දැරියගේ පවුලේ අයට රත්තරං බලපැම් කළේ ඇයි?

එමගින්ම පැහැදිලි වන්නේ මෙම සිද්ධිය බොරුවක් නොව, සත්‍යයක් බවය. එවැනි ස්වභාවයක් තුළ ක්‍රිශාන්ත පුෂ්පකුමාර මිනිසුන් මුලා කිරීම සඳහා මාධ්‍ය හරහා පුහු රංගනයක යෙදීම කරන ලද අතවරයකටත් වඩා තවත් අපචාර වැඩකි. ඔහු තමාගේ නිර්දෝෂිභාවය පෙන්වීම උදෙසා දකුණු පළාත් සභා මන්ත්‍රී ධුරයෙන්ද පසුගිය දිනක ඉල්ලා අස් විය. එයද රංගනයකි. දකුණු පළාත් සභාවේ නිල කාලය මාර්තු මස 29 වැනිදායින් අවසන් විය. එවැනි ස්වභාවයක් තුළ ඊට දින දහයකට පමණ පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති ඵලය කුමක්ද? එයින්ම ඔහුගේ දෙබිඩි චරිතයේ තවත් කැඩපතක් එළියට එනු ඇත.

ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං ප්‍රකාශ කරන ආකාරයට තමා එම දැරියව අතවරයට ලක් නොකළේ නම් වෛද්‍ය වාර්තාවකින් අතවරයක් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ කෙසේද? ඔහුගේ විෂ්ණු දේවාලයේ දෙයියෝ කුලප්පු වී ඇයට අතවර කළාද? අද සිදු වී ඇත්තේ එම දැරියගේ පවුලේ අයට වඳින්න ගිය දේවාලය හිසේ කඩා පාත් වීමේ ස්වභාවයකි. මෙහි කණගාටුදායක තත්වය කොතෙක්ද කිවහොත් අතවර චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මහේස්ත්‍රාත්වරයා ඔහුව එවලේම ඇප මත නිදහස් කර යැවීමය. එම නීතිමය ක්‍රියාදාමය නිවැරදිද?

ඔහු මෙම දැරියට අතවර නොකළේ නම් එම දේවාලය ඇතුළේ එම අවස්ථාවේ ඒ දේ සිදු කළේ කවුද? රත්තරංද? නැත්නම් විෂ්ණු දෙවියෝද? මහේස්ත්‍රාත්ට ඊළඟට ඇත්තේ නඩුවේ සාක්ෂිය උදෙසා විෂ්ණු දෙවියන්ව උසාවි කැඳවීමටය. නැත්නම් මෙවැනි සිදුවීමක් මෙලෙස අවසන් වූයේ කෙසේද? දෙවියන්ට හාල් කැවිලාද? උඩ ඉන්න නොපෙනෙන දෙවියන්ට මේවා කීවාට වැඩක් නැත. පෙනෙන මිනිසුන් මෙවැනි බලු වැඩ කරන විට ඔවුන්ට දඬුවම් දිය යුත්තේ නීතියෙන්ම මිස වෙනත් ක්‍රමයකින්ම නොවේ. මෙහිදී නිවැරදි ආකාරයට රත්තරංට එරෙහිව ඉදිරියේ නීතිය ක්‍රියාත්මක වේද යන සැකයක්ද මේ වන විටත් සමාජය තුළ ඉස්මතු වී ඇත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment