Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දෙපැත්තේම ඉත්තෝ ඇදන් කූල් එකේ ඉන්න මෛත්‍රී.

     
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය රට පෙරළන අරගලයක නිරත වී සිටියදී මේ ගැන වැඩියෙන්ම කලබල විය යුතු පුද්ගලයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින්නේ කිසිදු කලබලයක් නොමැතිව, අවම වශයෙන් ඒ ගැන තැකීමක් හෝ නොකරන තත්වයක් පෙන්නුම් කරමිනි. 

මෛත්‍රීපාල සිරිසේන යනු කාටත් පාලනය කරගත හැකි, දේශපාලනයේ කූඨ උපක්‍රම නොදත්,නෝංජල් පුද්ගලයකු අය බොහෝ අය 2015 වනවිට සිතා සිටියත් ඔහු ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයකු බව 2018 ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේදී ඔප්පු විය. 

එහෙත් ඔහු ඊටත් එහා ගිය ඉතාම සූක්ෂම, ශූර, සටකපට දේශපාලකයකු බවත් මේ වනවිට ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකේම ඉත්තන් අදිමින් දේශපාලන චෙස් ක්‍රීඩාව තනියෙම හසුරුවන්නේ ඔහු විසින් බවත් ඇතැම් විය ඔබත් විශ්වාස නොකරනවා විය හැකිය. එසේ නම් මඳක් විමසා බලමු. 

ගෝඨාගේ තදියම සහ මෛත්‍රී 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරමින් මුලින්ම ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වීමේ වාසිය අත්පත් කරගැනීමට උත්සාහ කළ ද ඔවුන්ගේ මල්වෙඩි සංදර්ශනය මේ වනවිට නිමවී ඉදිරියට කරන්නේ කුමක්ද යන්න පිළිබඳ උභතෝකෝටිකයක ඔවුන් පැටළී ඇති බව ඉතාම පැහැදිලිව පෙනෙන සත්‍යයකි. 

ජනාධිපතිවරණය ආසන්නයේදී මේ වැයකළ මුදල්, කාලය සහ ශ්‍රමය ඔවුන් ප්‍රචාරණ ව්‍යාපෘතිය කරා යෙදවීනම් එය ඉතාම ආකර්ශනීය එකක් වන්නට ද තිබිණි. එහෙත් රට තුළ මැතිවරණ උණුසුමක් නොමැති අවස්ථාවක අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට යාමෙන් සති දෙකක් තුළ ඔවුන්ට හොට බිම ඇන ගැනීමට සිදුව තිබේ. 

මෙතරම් ඉක්මනින් ගෝඨාභය රාජපක්ෂ මහතාව අපේක්ෂකයා ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට වුවමනාවක් තිබුණේම නැති බව රටම දනී. 

මේ වුවමනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ කෘතීමව පැළ කර, වර්ධනය කළේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුව වෙත එවූ එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා ඇතුළු කල්ලිය සහ 2018 ආණ්ඩු පෙරළියේ සිට ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා පවත්වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය නොගත් කුඩා පක්ෂ විසිනි. 

ජනාධිපතිවරයාගේ වුවමනාව මත ඔවුන් පොහොට්ටුව තුළ වර්ධනය කළ රැල්ල දෙගොඩතලා යන මට්ටමට පැමිණ මහින්දට වක්‍රම සහ බැසිල්ට සෘජුවම ප්‍රහාර එල්ල වන තැනට එද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදෙන ලදී. 

එහෙත් සමස්තයක් ලෙස ගත්කළ ඔවුන් දැන් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර්වලතා මාධ්‍ය කෙරෙන් සඟවා ගන්නේ කෙසේද යන්න සහ ඔහුට එරෙහිව පිටතින් එල්ල වන ප්‍රහාරයන්ගෙන් ඔහුව බේරාගන්නේ කෙසේද යන්න ගැන සිතමින් ආරක්ෂණවාදී ස්ථාවරයකට පසුබැස මිස ජනාධිපතිවරණ සටනේ පෙරමුණේ සිටින සටන්කාමීන් වශයෙන් නොවේ. 

පිළිගත්තත් නොගත්තත් ඇත්ත මේකය. 

සජිත් නටවන මෛත්‍රී 

සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීම සඳහා වන සටනට කඩ ඉම් දින පවා ලබාදෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව අපි මීට පෙර අනාවරණය කළෙමු. 

ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ සහාය සජිත්ට ලබාදෙන බවට පොරොන්දුව පිට සහ සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන පොරොන්දුව පිට ජනාධිපතිවරයා සිතූ සිතූ ආකාරයට සජිත්ව නටවන්නේ ඇත්ත වශයෙන්ම උනන්නතිකාමය මිස දේශපාලන දැක්මක් හෝ කිසිදු දේශපාලනික පරිණතභාවයක් ඔහු තුළ නොමැති බව මනාව දන්නා නිසාවෙනි. 

ජනාධිපතිවරණයක් පෙනෙන තෙක් මානයට හෝ පැමිණීමට පෙරම තමන්ගේම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්ට චෝදනා කරමින්, පරදෙමින්, පැහැදිලිවම පක්ෂය දෙකඩ කෙරෙන වටපිටාවක් නිර්මාණය කරමින් සජිත් ගෙනයන ක්‍රියාවලිය පක්ෂයට දැවැන්ත හානියක් කරන බවවත් ඔහුට හෝ ඔහු වටා සිටින ඔහු තරම්වත් නොමේරූ දේශපාලන ළදරුවන්ට කොහෙත්ම තේරෙන්නේ නැත. 

2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් එකවැර ඉටුකර ගැනීමට නොහැකි වුණු එජාපය විනාශ කිරීමේ අරමුණ ජනාධිපතිවරයා විසින් මේ වනවිට සජිත් හරහා මනාව ඉටු කරගමින් සිටී. දැනට පවතින තත්වය අනුව එජාපයේ අපේක්ෂකයා කවුරුන් ලෙස තීරණය කෙරුණත් එය සිදුවන්නේ පක්ෂයට දැවැන්ත හානියක් කරමිනි. 

මේ, ජනාධිපතිවරයාගේ නූල් සූත්තර ය. 

දැවැන්ත යැයි කියූ චරිත මොන්ටිසෝරි ළමයින් බවට පත් කළ නායකයා 

බැලූ බැල්මට ඉතාම සරලව ඇසට පෙනෙන නමුත් තම තමන්ගේ දේශපාලන පක්ෂපාතීකම් නිසා බොහෝ අය පිළිගැනීමට අකමැති ඇත්ත මේකය. විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට ඇති තීරණාත්මක බලය පළිහට තබාගනිමින්, පක්ෂයට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් හෝ එළියේ විශාල ජනපදනමක් හෝ නොමැතිවත් ජනාධිපතිවරයා රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකම තමන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් සිටී. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්ම විශ්‍රාම යාමේ වුවමනාවක් නොමැති බව හැමෝම දන්නා කරුණකි. එහෙත් තම තමන්ගේ ළපටි සිත් සනසා ගැනීම සඳහා ඔවුන් සිතන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් විධායක ජනාධිපතිවරයා තම තමන්ට නිකම්ම බලය පවරා දී පොළොන්නරුවට ගොස් කුඹුරු කොටනු ඇතැයි කියාය. 

රටක් පාලනය කිරීමට තමන්ට සුදුසුකම් ඇතැයි තර්ක කරන උදවිය පවා මෙතරම් ළාමක චින්තනයකට ඇද දැමීමට ජනාධිපතිවරයා කෙතරම් ශූරයකු විය යුතුදැයි කල්පනා කිරීමේදී ඔබ විස්මයට පත්වනු ඇත. 

විශ්වාස කිරීමට අපහසු වුවත් දෑස් හැර බලන්න, ගෝඨාභය රාජපක්ෂ නම් "මහා යුධවිරුවා" පළමු වරට පෙරපාසල් යන කුඩා දරුවෙකු මෙන් සිය සහෝදරයා පසුපස පන්සල් පල්ලි වන්දනාවේ යන සැටිත් සජිත් ප්‍රේමදාස නම් " ගම්මට්ටමේ, බිම්මට්ටමේ, තම්මැට්ටමේ ජනතාවගේ එකම පැතුම" මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබා සිටින ආකාරයත් ඔබට පෙනෙනු ඇත. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment