Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවට යැව්වේත් මෛත්‍රී !

     
එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උත්සවාකාරයෙන් එක් වුව ද මෙයත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සූක්ෂම සැලැස්මක කොටසක් පමණක් බව වාර්තා වේ. 

මලකඩ කෑ ඡන්ද මැෂිම - එස්.බී. 

එස්.බී. දිසානායක මහතා කලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ අතර මෛත්‍රී - මහින්ද දින 52 ආණ්ඩුවේ කපුකම කළ ප්‍රධානතමයා වූයේ ද ඔහුය. 

එහෙත් එස්.බී.ගේ පාලනයක් නොමැති කට නිසා ජනාධිපතිවරයා අපහසුතාවට ලක් වූයේ එක් වරක් දෙවරක් නම් නොවේ. ජනාධිපතිවරයා ද සිටියේ මේවා සියල්ල මතක තබාගෙන, පොහොට්ටුවට වැඩිවැඩියෙන් ළං වෙන එස්.බී. දෙස හොඳින් නිරීක්ෂණය ද කරමිනි. 

එස්.බී. දිසානායක යනු කලක් ඡන්ද මැෂිම ලෙස හැඳින්වුණ ද මේ වනවිට ඔහු සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි තත්වයේ නොවේ. ඔහු දේශපාලන කුමන්ත්‍රණ සඳහා පමණක්ම යොදාගත හැකි මෙවලමකි. 

ඒ අනුව එස්.බී. පය වරද්දා ගන්නා තෙක් බලාසිටි ජනාධිපතිවරයා, ලැබුණු පළමු අවස්ථාවේදීම ඔහුගේ ශ්‍රීලනිප භාණ්ඩාගාරික තනතුර අහෝසි කර දෙකේ කොළයට දැම්මා පමණක් නොව පොහොට්ටු සමුළුවට සහභාගී වීම පිළිබඳ විනය පියවර ගන්නා බවත් දන්වා සිටියේය. 

බදුල්ලට වාතයක් වුණු ඩිලාන් 

ඩිලාන් පෙරේරා යනු එස්.බී. තරම් ඓතිහාසික වටිනාකමකින්වත් යුත් දේශපාලන චරිතයක්වත් නොවේ. එස්.බී. නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ එම ආණ්ඩුවේ සිටි ප්‍රබලතමයා විය. එහෙත් ඩිලාන්ට එවැනි ඉතිහාසයක්වත් නැත. 

කෙසේවෙතත් පසුගිය සමය තුළ ඩිලාන් ද යමෙක් වීමට දැඟළුවේ එස්.බී.ගේ පසුපසින් එල්ලී ඔහු සමඟ මාධ්‍ය සාකච්ඡා පවත්වමිනි. 

ඩිලාන් ද එස්.බී. සේම ඡන්ද පදනමක් නොමැති, ඊළඟ මැතිවරණයෙන් ද අනිවාර්යයෙන්ම පරාජය වීමට නියමිතව සිටි අයෙකු වුවත් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප පක්ෂ සංවිධාන කටයුතු වලදී ඔහු එතැන මුදුනා වීමට උත්සාහ කරමින් ගැටුම් ඇති කරගන්නා ආකාරය ද ජනාධිපතිවරයා කලක් තිස්සේ නිරීක්ෂණය කර තිබිණි. 

එසේම ඩිලාන් පෙරේරා ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් සමඟ ගැටුම් ඇතිකරගත් කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඩිලාන්ට කිසිදු අනුග්‍රහයක් දැක්වූයේ ද නැත. 

මෙසේ දඟළමින් සිටි ඩිලාන්ට පාඩමක් ඉගැන්වීම සඳහා ජනාධිපතිවරයා ඩිලාන්ගේ පියාව ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ද ඉවත් කළේය. පොහොට්ටු සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ද විනය පියවර ගන්නා බවත් දැනුම් දී තිබිණි. 

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි ! 

ඉහත කී තත්වයන් අනුව එස්.බී.ට සහ ඩිලාන්ට වෙනත් විකල්ප තිබුණේ නැත. ශ්‍රීලනිපයෙන් නිග්‍රහශීලී ලෙස ඉවතට ඇද දැමීමට පළමු පොහොට්ටුව වෙත පළායාම පමණි ඔවුන්ට තිබුණු එකම විකල්පය වූයේ. ඔවුන්ව ක්‍රමිකව එතැනට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ගේම සැලැස්ම අනුවය. 

මේ හරහා එකවර ප්‍රධාන ප්‍රයෝජන දෙකක් ජනාධිපතිවරයා ලබා ගත්තේය. 

පළමුවැන්න නම් ඔවුන් දෙදෙනා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර වලින් ඉවත් කිරීමට මාර්ගය පාදා ගැනීමයි. ඒ හරහා තමන්ට බෙහෙවින්ම පක්ෂපාතී සහ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළහැකි පුද්ගලයින් දෙදෙනෙකු දැන්ම තියා පාර්ලිමේන්තුවට කැඳවාගෙන ශ්‍රීලනිපය ශක්තිමත් කරගැනීමය. 

දෙවැන්න නම් මොවුන් දෙදෙනා පොහොට්ටුවට එක් කරගැනීම මඟින් දැවැන්ත දේශපාලන අපවාදයකට විහින් ලක්වීමට පොහොට්ටුවට අවස්ථාව ලබාදීමය. සරලව කීවොත් ජනාධිපතිවරයා කළේ පොහොට්ටුවේ සහ විශෙෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස මත කුණු බාල්දියක් අත හැරීමය. 

මේ දෙදෙනා මූලික කරගනිමින් පක්ෂ විනය කඩකළ සියළුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රසිද්ධියට පත් කරවීම තුළින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් 59 දෙනාටම වක්‍රාකාරයෙන් අනතුරු හැඟවීමක් ද ජනාධිපතිවරයා සිදුකර තිබේ. ඒ, එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවට යැවීමෙන් ලද අමතර වාසියක් ලෙසය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment