Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයටත් වංචාව රැගෙන යයි.


• ටෙන්ඩර් කොන්දේසි ලංසුකරුවෙකු ඉලක්ක කරගෙන හැදූ ඒවා
• අභියාචනා සලකා බලන්නත් කලින් ටෙන්ඩරය ලබා දීලා

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලින් ප්‍රධාන එකක් බවට පත් කරගෙන ඇත්තේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනයි. මොනරාගලින් ආරම්භ කළ මෙම වැඩසටහන ඉන් පසුව අනුරාධපුරයට රැගෙන ගියේය. දැන් එහි තුන් වන පියවර යාපනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. මොනරාගල පැවැත්වූ වැඩසටහනේ දී සිදු කළ දූෂණ සහ අක්‍රමිකතාත්, මුදල් අවභාවිත කිරීම් සහ අවසානයේ මොනරාගලට ඉතිරි වූයේ මොනවා ද යන්නත් අප විසින් මීට පෙර අනාවරණය කරන ලදී. ඒ වෙනුවෙන් සුද්ද බුද්ද කරනු ලැබූ මුළු භූමිය අක්කර 17ක් පමණ වෙයි. එසේ මුඩු බිමක් බවට පත් කරන ලද්දේ සශ්‍රීක රබර් ඉඩම්ය. සැණකෙළි භූමිය සැකසීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කරන ලද අතර, එය අද වන විට මුඩු බිමක් පමණක් නොව මදුරුවන් බෝ වන මඩ වළක් බවට ද පත්ව ඇත. සැණකෙළියේ ලයිට් බිල පමණක් රුපියල් කෝටි එකහමාරකි. ආණ්ඩුව කියන්නේ මේ සඳහා පළමු වටයේ දී මොනරාගල තෝරා ගත්තේ එම ප්‍රදේශය ලංකාවේ දුප්පත්ම ප්‍රදේශය නිසා බවයි. ඒ නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කළ බවත් කියයි. එහෙත්, ඇත්තටම වෙන් කර ඇත්තේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රුපියල් ලක්ෂ 20කි. කරනවා යැයි කියූ සංවර්ධන ව්‍යාපෘති එකක්වත් හරිහැටි කෙරී ඇති බවක් හෝ කෙරෙමින් පවතින බවක් හෝ තවම නම් මොනරාගලින් පෙනෙන්නට නැත. ඒ වෙනුවට මේ සැණකෙළි සංවිධානය කළේ ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට මුදල් ගරා ගැනීමේ ජාවාරමකට අවස්ථාවක් ලබා දීමට බව කරුණු කාරණා සහිතව අනාවරණය විය. මුදල් කුට්ටි පිටින් ගසා කෑ ‘යහපාලන ඇඩ්වටයිසින් කෙරුවාව’ ඒ සඳහා හොඳම උදාහරණයකි.

අනුරාධපුරයේ ප්‍රදර්ශනයට අදාළව කළ කී දෑ ගැනත් ඒ ආකාරයෙන්ම හෙළි කරනු ලැබීය. අනුරාධපුර ප්‍රදර්ශනය අවසන් වීමටත් පෙර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුන් වන වැඩසටහන ද එවැනිම මහජන මුදල් අවභාවිතාවකින් සහ හිත මිතුරු සංග්‍රහයකින් ආරම්භ කර ඇත්තේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු බව පෙන්වමිනි.

යාපනයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ජාවරම සැලසුම් කෙරෙන්නේ ඊට අවශ්‍ය සුවිසල් කූඩාරම්, වේදිකාව සහ විදුලි ආලෝකය ඇතුළු භූමි සැකසුම් කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම හරහාය. මෙම ටෙන්ඩර් කැඳවීම සිදු කරන්නේ ජාතික පුවත් පත්වල දැන්වීමක් පළ කරමිනි. එහි අදාළ අයිතමයන් සහ ඊට අදාළ විස්තරත්, ටෙන්ඩර් කොන්දේසි සහ ලංසුකරුවන් අනුගමනය කළ යුතු නීතිරීති ද පැහැදිලිව දක්වා තිබිණි. ඒ අනුව ඊට ටෙන්ඩර්කරුවන් ගණනාවක්ම තමන්ගේ ලංසු ඉදිරිපත් කර තිබුණු අතර, එහි අවම ලංසු වූයේ පිළිවෙළින් ‘සැලසිනෙ’ ආයතනය රුපියල් 71,143,232.32ක්, ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනය රුපියල් 94,741,150.99ක්, Inter Trade Lanka ආයතනය රුපියල් 146,510,800.00ක් වශයෙනි.

මේ මිල ගණන් දෙස බැලු විට පැහැදිලිව පෙනී යන්නේ අදාළ ටෙන්ඩරය එහි මිල ගණන් අනුව ලැබිය යුත්තේ අවම මිල ඉදිරිපත් කර තිබූ සැලසිනෙ ආයතනයට බවයි. ඊට අමතරව සැලසිනෙ යනු ප්‍රචාරක කටයුතු සඳහාම ඇති කළ රාජ්‍ය ආයතනයකි. ඒ නිසා අදාළ ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් නෛතික ගැටලූවක් ද නොමැත.

කෙසේ වෙතත්, මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් සැලසිනෙ ආයතනය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවත්වා ඇති අතර එහි දී සැලසිනෙ ආයතනයේ පූර්ව කටයුතු සහ මෙවැනි කාර්යයක් සඳහා ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කර තිබේ. සැලසිනෙ ආයතනය විසින් එම විමසීමට අදාළව වසර 37ක් තුළ සිදු කළ කාර්යයන් පිළිබඳ තොරතුරු ද නිරවුල්ව ලබා දී ඇත. විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව ලංකාවේ පැවැති අවස්ථාවේ එහි සියලූ කටයුතු සංවිධානය කර ඇත්තේ ද සැලසිනෙ ආයතනය මගිනි. මේ සියල්ල පිළිබඳ සලකා බැලු ප්‍රසම්පාදන කමිටුව ද සැලසිනෙ ආයතනයට මෙය සිදු කළ හැකි බව නිර්දේශ කර ඇත.

එහෙත්, ටෙන්ඩර් කමිටුව අවසානයේ තීරණය කර ඇත්තේ මෙම ටෙන්ඩරය ලබා දිය යුත්තේ සැලසිනෙ ආයතනයට නොව ඊට වඩා රුපියල් මිලියන 25ක් වැඩියෙන් ලංසුව ඉදිරිපත් කළ ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනයට බවයි. මේ තෝරා ගැනීම පිළිබඳව දන්වමින් මුදල් අමාත්‍යාංශය විසින් සැලසිනෙ ආයතනයට ද ඇතුළුව අනෙකුත් සියලූම ලංසුකරුවන්ට ලිඛිතව දැනුම් දීමක් ද සිදු කර ඇත. ඒ දක්වා සියල්ල බැලු බැල්මට මුදල් අමාත්‍යාංශය විසින් නිවැරැදිව සිදු කර ඇති බව පෙනී යයි.

සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට අනුව යම් ටෙන්ඩරයක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවකුට තමන්ව ඒ සඳහා තෝරාගෙන නොමැති නම්, දින හතක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අයිිතියක් තිබේ. ඉන් දින 14ක් ඇතුළත අභියාචනයන් සඳහා කරුණු දැක්වීමෙන් අනතුරුව පමණක් ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කළ යුතු වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉහත කී පරිදි මුදල් අමාත්‍යාංශය විසින් ලංසුකරු තෝරා ගැනීම පිළිබඳ දැනුම් දීමෙන් පසුව සැලසිනෙ ආයතනය විසින් පසුගිය අගෝස්තු 21 වන දින ඒ සම්බන්ධයෙන් තම අභියාචනය ඉදිරිපත් කර තිබේ. මෙතැන අත යට ගේමක් ඇති බව හෙළි වන්නේ ඒ සමඟිනි. අගෝස්තු 23 වන දින වන විට මුල් ලංසුකරුට ටෙන්ඩරය පිරිනමා යාපනයේ වැඩකටයුතු ද ඔවුන් විසින් ආරම්භ කර ඇත. එහෙත්, එසේ වැඩකටයුතු ආරම්භ කරන විට අදාළ ටෙන්ඩරය පිරිනැමූ බවට කිසිදු ලිඛිත දැනුම් දීමක් හෝ මුදල් අමාත්‍යාංශය විසින් සිදු කර නැත. එසේ නම්, ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනයට ඒ සඳහා අවසරය ලැබුණේ කෙසේ ද? ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කළේ කවුරුන් විසින් ද?

මේ ටෙන්ඩරය මුල සිටම වංචාසහගතව ක්‍රියාත්මක වූවක් බව හෙළි වන්නේ මේ පිළිබඳ තවත් කරුණු සොයාගෙන යාමේදීය.

ටෙන්ඩරය සඳහා අවශ්‍ය අයිතමයන්ගේ විස්තර පත්‍රිකාවේ වේදිකාවක ප්‍රමාණය සහ එහි අනෙකුත් අවශ්‍යතා පිළිබඳව සඳහන් කර තිබේ. එහි ප්‍රධාන වේදිකාවේ දිග, පළල ලෙස දක්වා ඇත්තේ අඩි 64ක් සහ 56ක් වශයෙනි. සාමාන්‍යයෙන් එවැනි සඳහනක් කරන්නේ නම් එය දක්වනු ලබන්නේ අඩි 60ක් හෝ 70ක් ලෙස ආසන්න වශයෙන් ප්‍රමාණයකි. එහෙත් දිග සහ පළල නිශ්චිතව සඳහන් කිරීම සැලසුම් සහගතව සිදු කළ එකක් බව පෙනී යන්නේ ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනය සතු වේදිකාවේ දිග පළල මේ සමග හරියටම ගැළපීම නිසාය. එය තවත් තහවුරු කරමින් ප්‍රධාන වේදිකාවේ Trussing System with Roof සඳහා දිග අඩි 102ක් ලෙස දක්වා තිබේ. මෙය හරියටම අනුරාධපුර වේදිකාවේ දිගට සමාන වේ. එහෙත් එහි වහලයක් නොමැත. වහලය ඉල්ලා ඇත්තේ සැපයුම්කරුවන් නොමඟ යැවීම සඳහාය.

එසේම ප්‍රධාන වේදිකාවේ LED පුවරු වෙන් වෙන් වශයෙන් එක් එක් ප්‍රමාණවලින් ඉල්ලා ඇත. එමඟින් ද පැහැදිලි වන්නේ පූර්වයෙන් තෝරා ගත් සැපයුම්කරුවෙකුගේ නිර්මාණවලට ටෙන්ඩරය කැඳවා ඇති බවය. එසේම උත්සව ශාලා සැපයීමේ දී Germen Marquees ම ඉල්ලා තිබේ. ලංකාවේ මේවා ඇත්තේ එක් සැපයුම්කරුවකු ළඟ පමණි.

දැන් සියල්ල පැහැදිලිය. ටෙන්ඩරය තෝරා ගැනීමේ දී වචන තුනක් මඟින් මෙය පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ තෝරා ගත් ලංසුකරු substantially lowest bidder ලෙස හැඳින්වීම මඟිනි. ඉන් කියැවෙන්නේ කරුණු සියල්ල සැලකීමේ දී අඩුම මිල ඉදිරිපත් කර ඇති ලංසුකරු වන්නේ තෝරාගෙන ඇති ලංසුකරු බවයි. එහි දී ‘සලකා බලා ඇති කරුණු’ වන්නේ පූර්වයෙන් ඉදිරිපත් කළ කරුණුය.

කෙසේ වෙතත්, මේ වන විටත් බොහෝ කටයුතු සිදු වී අවසන්ය. ප්‍රදර්ශනයේ වේදිකා සහ භූමි සැකසුම් වෙනුවෙන් රුපියල් මිලියන 25ක් අවභාවිත කර ඇත. කොතරම් පෙන්වා දුන්න ද මේවා කරනවුන්ට ඇති ලැජ්ජාවක් නැත. ඒ අනුව බලන විට ලැජ්ජා විය යුත්තේ බීරි අලින්ට වීණා ගායනා කරන්නාක් මෙන් නැවත නැවතත් මේවා ලියන අපය.

චතුර දිසානායක


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment