Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'රැස" ප්‍රධාන කර්තෘ රංජිත් කුමාර සමරකෝන් ඉල්ලා අස්වෙයි.



මීට දෙවසරකට පෙරාතුව 'රැස"ට එක්ව, වසර එකහමාරකට වැඩි කාලයක් එහි ප්‍රධාන කර්තෘවරයාව කටයුතු කළ මම තනතුරින්ද,ලේක් හවුස් ආයතනයෙහි ස්ථීර සේවයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.
එය හෘද සාක්ෂියට එකගව තිර අදිටනින් ගත් තීන්දුවක් බවද සදහන් කරමි.
රැස ආරම්භ කළදා සිට මේ දක්වාම එකදු අකුරකින් හෝ ජාතිවාදයට,ආගම්වාදයට හෝ මිත්‍යාවට ඉඩ දුන්නේ නැත. උදාර පරමාර්ථ ඇතිව 'රැස' ගොඩනැගීමට ගත් සාමූහික ප්‍රයත්නයට මමද නොපැකිල දායක වීමී.
එය මට උදේ අට පහ රස්සාවක් නොවූ විසිහතර පැයේ වගකීමක් වූ බව කවුරු නොදනිතත් රැස පවුල දනී.

අපව ඉතා අනුකම්පා විරහිතව විවේචනය කරන්නන් පවා රැස 'රට ගිනි නොතියූ බව' දනී.
ජාතිවාදයේ,ආගම්වාදයේ කුණු, රැසෙහි නොවූ අතර කාලයා විසින් ඊට අනන්‍ය ඇගයිම සහතික කරනු ඇත.
කලකට පෙර දිගන ආශ්‍රිත ජාතිවාදී ගිනිදැල් හට ගනිද්දී අපි එගිනි නිවන රටාව රැසෙන් කියා පෑවෙමු.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව යම් යම් මාධ්‍ය ජාතිවාදය කුනුරසට විකුණන විට අපි මානවවාදය සමාජයට එන්නත් කළෙමු.
කෙටි කලට අපි බොහෝ දේ කළෙමු.

මා විශ්වාස කළ දේශපාලනයක් තිබුණේ වී නමුදු,කිකලකවත් එකී දේශපාලන මඩ ගොහොරුවට රැස ඇද නොබාන්නට මම පරිස්සම් වුණෙමි.
ඊට මගේ කර්තෘ මණ්ඩලයෙන් සහ කාර්‍යමණ්ඩලයෙන් ලද පිටුබලය සෙනෙහසින් සිහි කරම්.

මට සිහිනයක් තිබුණි.
ඒ පත්තරකාරයෙක් වීමේ සිහිනයයි.ඒ උදෙසා අප්‍රමාණ කැපකිරීම් කළෙමි.දස වසරට සියවසරක වැඩ කළෙමි.මගේ ජීවිතයේ මෑත වසර හය හෝ හත තුල දෙපැයක් ඉක්මවා නිදාගත් දවසක් නැත.
කෙලවරක් නැති වෙහෙස පත්තරය තුලම දිය කළෙමි.එසේ වුව එය අතිමහත් තෘප්තියක් ගෙන ආවේය.
ඉතිං, දෙවසරක් ඉක්මවා මා රැසෙහි සේවය කළ අතර සහතිකවම කිව යුත්තක් තිබේ.
ඒ එක්තරා 'කලු පාට දින 52ක' හැර කිසිදු විටෙක මවෙත දේශපාලනික බලපෑම් නොපැමිණි බවය.
දින 52 පිළිබදව පවතින පිලිකුල් සහගත මතකය තාමත් ඔක්කාරය ගෙනෙන අපුල දනවන එකකි.

ඔවුහූ රැස පරිශ්‍රය මුදා නොගත් කලාපයක් සේ සැලකූහ.අපගේ පරිගනක තිර අසල සිටගෙන අපට නියෝග නිකුත් කළහ.
එහෙත්,
අප එකදු කතුවැකියකින් හෝ එකී නාඩගම අනුමත නොකරන්නට තරම් අදීන වීමු.

ඒ දින 52තුල අප අනන්ත අප්‍රමාණ පීඩාවන්ට ලක් විය.
අපව පීඩාවට පත්වන ඒ කිසිම විටෙක කිසිම මාධ්‍ය සංවිධානයක් අප පිළිබදව කිසිදු සෙවිල්ලක් හෝ විමසිල්ලක් කළේ නැත.
ඒ එසේ තිබුණාවේ.!

සමාජයට කුණු බෙදා නොහරින,මානවවාදය ගරු කරන,ආචාර ධර්ම රකින පුවත්පතක ප්‍රධාන කර්තෘවරයාව 'ජනප්‍රිය නොවන' එහෙත් අප්‍රමාණ වෙහෙසකර හා ආයාසකර ගමනක් මම පැමිණියෙමි. බොහෝ දෙනාට'රැස ලේක් හවුස්'පත්තරයක්ද කියා විශ්වාස කළ නොහැකි තරමට අපි රැස කිසියම් ආස්ථානයක තැබීමූ.
අනේකවිද අභියෝග මැද රැස සුරක්ෂිතව ගොඩනගන්නට අපි කටයුතු කළෙමු.අතිශය දයාබර කණ්ඩායමක් අපට සිටි අතර සාමූහික ප්‍රයත්නයකට කදිම උදාහරණය 'රැස' විය.
අත් හැර දැමීම කෙතරම් පහසු වුවද 'රැස පවුල' කෙරෙහි වන බැදීම නොබිදෙන යදමකි.
මාගේ ඉල්ලා අස්වීම හිතුවක්කාර එකකැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන් අතර,ඒ පිලිබදව හදවතින් තැවෙන්නන්ද සිටිය හැක.සාමූහිකත්වයෙන් පලා යාමක් සේ කිසිවෙක් මෙය දකින්නේනම් ඊටද අයිතිය තිබේ.

නිලතල හෝ තනතුරු කිසිසේත්ම තදින් අල්ලා නොගන්නා මම රැස කර්තෘ පුටුවේ වාඩි වුනේම පා පොලවේ පිහිටන ලෙස පුටුව 'එජස්'කරගෙනය.
ඉතිං,ඉන් බැසයාම අපහසු නැත.මම ඒ හැටි පුරසාරම් සහිත මාධ්‍යවේදියෙක් නොවේ. මින් මත්තට කුමක් කරනවාද කියා තවමත් කිසියම්ම නිනව්වක් හෝ නැත.එහෙත් හෘද සාක්ෂිය සුරක්ෂිත කළයුතුය.

අවසානයේ දී කිවයුත්තන් තිබේ. රැස තවත් එක් පුවත්පතක් නොවේ.එය අදටත් වඩා හෙටට අත්‍යවශ්‍ය ය. රැසෙහි සිටින්නේ ආදරණීය මිනිසුන් ය.ඔවුන් සියලුදෙනා වෙන වෙනම ඇගයිය හැකි දක්ෂතා වලින් යුක්ත අය ය.
කිසිවෙක් මා සතු බොහෝ දෑ ඉල්ලා ගැනීමේ හිලවුව්ට යමක් පෙරළා ඉල්ලන්න යැයි මට කීවොත් මා ඉල්ලා සිටින්නේ අපව හැරගිය චාමර ලක්ෂාන් සහෘදයාත්,ඔහු හා එක්ව අප රැස කළ කාලයත් මවෙත ලබා දෙන්නැයි කියාය. රැස එතරම්ම ජීවිතයට සමීපය.
මගේ ඉල්ලා අස්වීම කෙරෙහි උරණ වන්නේත්,තැවෙන්නේත් රැස පවුලේ ආදරණීයයන් ය.ඔවුන්ගෙන් පමණක් මම සමාව ඉල්ලමි.
රැස චිරාත් කාලයක් දිනේවා.
   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.






Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment